ත්‍රී-මලේ අධිකරණය තුළ සැකකරුවෙකුගෙන් බිහිසුණු ක්‍රියාවක්

ත්‍රීකුණාමලය අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු, තමාගේම ගෙල හානි කරගැනීමෙන් පසු, අසල සිටි තවත් සැකකරුවෙකු ද තමා‍ගේ ගෙලද හානි කරගැනීමට උත්සාහ කර තිබෙන බවට වාර්තාවේ.

ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ගෙල කපා ගැනීමේ සිද්ධිය අද (28) අධිකරණ පරිශ්‍රයේ කලබලයක් ඇති කර තිබෙනවා.

අත්බෝම්බ ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා පැය 48 ක ප්‍රශ්න කිරීමෙන් පසු අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා හමුවට ඉදිරිපත් කර තිබුණා.

එම අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් පස් දෙනාගෙන් එක් අයෙකු අධිකරණය තුළ ගෙලට හානිකරගෙන තිබුණා.

පොලිසිය තමාට එරෙහිව බොරු චෝදනා එල්ල කිරීම ගැන සිත්තැවුලෙන් එම සැකකරු අධිකරණ ශාලාව තුළ ගෙල හානි කරගෙන ඇති බව වාර්තා වී තිබෙනවා.

ඉන්පසු, බරපතල ලෙස තුවාල ලැබූ සැකකරුගේ අතින් තියුණු ආයුධය (බ්ලේඩ් තලයක්) උදුරාගත් තවත් සැකකරුවෙකු ඔහුගේ ගෙල හානි කිරීමට උත්සාහ කර තිබෙනවා.

පොලිසිය ඔවුන් දෙදෙනාම පාලනය කර දෙදෙනාම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ත්‍රී-මලේ රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

මෙම සිද්ධියෙන් පසු අධිකරණ ශාලාව තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇති වී තිබුණා.