කොටි සාමාජිකයෙක්ව සිට ඉන්දියාවේ සිර දඬුවම් විදි අයෙක් මෙරටට පිටුවහල් කෙරේ

ඉන්දියාවේ ට්‍රිචි විශේෂ කදවුරේ වසර 07 ක කාළයක්  රඳවා තබා සිටි , එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරී සාමජිකයෙකු වූ කන්දසාමි ක්‍රිශ්ණකුමාර්, එරටින් පිටුවහල් කර පෙරේදා (26) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

50 හැවිරිදි වියේ පසුවන මොහු යාපනය, සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු 1991 – 1993 දක්වා කාළය තුළ , එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධ වී රියැදුරුවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

ඉන්පසුව එයින් ඉවත් වී 2009.09.13 දින ට්‍රිචි වෙත පළා ගොස්, තාවකාලිකව එහි පදිංචි වී රියැදුරුවරයෙකු ලෙස සේවය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී 2015.07.20 දින මෙරටින් එරට ආරක්ෂක අංශ වෙත සිදු කරන ලද දැනුම් දීමක් මත, තමිල්නාඩු පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන දින 10 ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමක් සිදු කර තිබෙනවා.

පසුව සැකකරුව එරට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර 2018.04.27 දින ඉන්දීය අධිකරණය විසින් මේ පිළිබද නඩු විභාගයක් පවත්වා වසර 10 ක කාලයක් සදහා ඔහුව බන්ධනාගාර ගත කිරීමට සහ ඉන්දීය රුපියල් 45,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.

එම තීන්දුවට එරෙහිව 2022 වසරේ දී අභියාචනයක් සිදුකර, එම සිර දඩුවම වසර 07 ක් දක්වා අඩු කර ගැනීමට ඔහු සමත් වී තිබෙනවා.

ඔහු ඉන්දියාවෙන් පිටුවහල් කර පසුගිය 26 දින සවස 04.55 ට ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 134 දරන ගුවන් යානයෙන් කටුනායකට එවා තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කන්දසාමි ක්‍රිශ්ණකුමාර් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත එදින රාත්‍රීයේ දී භාර දී තිබෙනවා.