ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් පසු, මැඩ්රිඩ් සහ ඇන්ඩලූසියා (Andalucia) අතර අධිවේගී දුම්රිය සේවාව අත්හිටුවා ඇති බවට වාර්තාවෙනවා.

ස්පාඤ්ඤයේ ටොලෙඩෝ (Toledo) පළාතේදී අද (28) අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කරනවා.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා මෙම අනතුර “බරපතල” සිදුවීමක් ලෙස විස්තර කර තිබෙනවා. දුම්රිය යටිතල පහසුකම් කළමනාකරණ ආයතනය වන ADIF ට අනුව,  මොර (Mora), ඔර්ගාස් (Orgaz) සහ උර්ඩා (Urda) යන නගර අතර ප්‍රදේශයේදී මෙම අනතුරු සිදුවී තිබෙනවා.

මෙම දුම්රිය දෙකම අගනුවර වන මැඩ්රිඩ් සහ දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා පළාතේ සෙවිල් (Seville) නගරය සම්බන්ධ කරන මාර්ගයේ ගමන් කරමින් තිබුණි. මෙම අනතුර හේතුවෙන් මැඩ්රිඩ් කලාපය සහ ඇන්ඩලූසියා සම්බන්ධ කරන අධිවේගී දුම්රිය මාර්ගයේ සේවාවන් අත්හිටුවා තිිබෙනවා.

දුම්රිය ගැටීමෙන් අවම වශයෙන් 10 දෙනෙකු මිය ගොස් ඇතැයි ප්‍රාදේශීය ප්‍රකාශකයෙකු පවසනවා.

තොරතුරුවලට අනුව, එක් දුම්රියක මගීන් 146 දෙනෙකු සහ කුඩා දරුවෙකු සිටි බවත්, අනෙක් දුම්රියේ මගීන් 397 දෙනෙකු සිටි බවත් වාර්තාවෙනවා.

ටොලෙඩෝ හි සිදුවූ මෙම “බරපතල දුම්රිය සිදුවීම” පිළිබඳව තමන් “කම්පනයට” පත්ව සිටින බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් (Pedro Sánchez) ප්‍රකාශ කරනවා. සිය ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් සැන්චෙස් වැඩිදුරටත් සඳහන් කළේ, අනතුරට ලක්වූවන්ට සහාය වීම සඳහා හදිසි සේවා කණ්ඩායම් එම ස්ථානයට යොදවා ඇති බව ඔහු පවසනවා..

ඒ අතර, ලොස් යෙබෙනෙස් (Los Yébenes) නගරාධිපති ජේසුස් පෙරෙස් මාර්ටින් (Jesús Pérez Martín) “අනතුර සම්බන්ධයෙන් ඉතා සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණක් වාර්තාවී තිබෙන බවත්; මෙය බරපතල අනතුරක් බව දැනගැනිමට ලැබී තිබෙන බවටත් ප්‍රකාශ කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.