ලන්ඩන් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී, නැවත ගොඩබසී

කටුනායක ගුවන් තොටුපොළෙන්  අද (28) දින දහවල් 12.55 ට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීමේ හේතුවෙන් යානය නැවත ගොඩබස්වා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 503 දරන ගුවන් යානය මෙසේ අනතුරට ලක්වී තිබෙනවා.

එම යානය කටුනායක ගුවන්තොටුපලින් පිටත් වී සුළු මොහොතකින් කුරුල්ලෙකු හා ගැටී ඇති බවට වාර්තාවෙනවා.

ඒසමඟම යානය ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට , එම ගුවන් යානයේ නියමුවා විසින් පියවර ගෙන තිබෙනවා.

මෙම ගුවන් යානය ඒ.- 330 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර එහි ගුවන් මගීන් 269 සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 සිටි අතර එම ගුවන් මගීන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද සිටි බවට වාර්තාවෙනවා.

ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසු , නිරුපද්‍රිතව එහි සිටි ගුවන් මගීන් බස්සවා , එම ගුවන් මගීන්  වෙනත් ගුවන් යානයකට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.  එම ගුවන් යානය අද පස්වරුවේ එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා පිටත්වුණා.

එසේම අනතුරට පත් ගුවන් යානය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සදහා යොමු කර තිබෙනවා.