ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස හඳුන්වා දීමට හැකි වන පරිදි එකී පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙක් භාණ්ඩ ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ගෙවීමක් ලෙස රටින් බැහැරට අරමුදල් ප්‍රේෂණය කර ඉන් අනතුරුව සාධාරණ කාල සීමාවක් තුළ ඊට අනුරූප භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්, එවැනි ප්‍රේෂණය කිරීමක් රටින් බැහැරට සිදු කළ අනවසර විදේශ විනිමය මාරු කිරීමක් ලෙස සලකනවා.
විදේශ විනිමය පනතේ දැනට පවතින ප්‍රතිපාදන යටතේ එවැනි අනවසර මුදල් මාරු කිරිම් සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ප්‍රේෂණයේ වටිනාකමට සමාන වන ශ්‍රී ලංකා රුපියල් වලින් වන මුදලක් මූල්‍ය දඩයක් වශයෙන් පැනවීම පමණයි.
එවැනි අනවසර අරමුදල් මාරු කිරීම් විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස අර්ථ දක්වා නොමැති බැවින්, අපරාධ නඩු පැවරීමක් සඳහා වන නෛතික ප්‍රතිපාදන ද එම පනතේ අඩංගු වන්නේ නැහැ.
එබැවින්, ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසර මුදල් මාරු කිරීම් විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස ස්ථාපිත කිරීම මඟින් විමර්ශන ආයතන වලට සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන වලට අදාළ නීතිමය රාමුව යටතේ එවැනි සිදුවීම්වලට එරෙහිව ඵලදායි ලෙස පියවර ගැනීමට අවස්ථාව සැලසෙන බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදු කෙරෙන අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වැරදි ලෙස හඳුනා ගැනීම පිණිස විදේශ විනිමය පනත යටතේ විශේෂිත විධිවිධාන හඳුන්වා දීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංර්වධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබෙනවා.













