නොරච්චෝල ගල්අගුරු බලාගාරයේ නොපෙනෙන පැත්ත

විදුලි බිල යළිත් වරක් දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ දමා ඇත්තේ සිය ආහාර වේල් ගණන සීමා කරමින් සිටින රටේ ජනතාවගේ කර මත තවත් බරක් පටවමිනි.

සාමාන්‍යයක් ලෙස සියයට 66කින් ඉහළ දැමූ බව පැවසුණ ද, අවම විදුලිය පාරිභෝජනයක් සහිත රටේ අතිමහත් බහුතරයක් වන විදුලිය පාරිභෝගිකයන්ගේ විදුලි බිලේ සැබෑ ඉහළ යෑම සියයට 225ක් තරමේ ඇදහිය නොහැකි මට්ටමකි.

විදුලිබල ඇමැතිවරයා පවසන්නේ මෙම ගාස්තු සංශෝධනය සිදුකරන ලද්දේ ලංකා විදුලි බල මණ්ඩලය ලබන අඛණ්ඩ පාඩුව මගහරවා ගැනීමට බවයි.

ඒ අතර ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කරන ලද්දේ, විදුලි ගාස්තු සංශෝධනය, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසියක් ඉටුකිරීමක් වශයෙන් සිදුකළ බවයි.

කෙසේහෝ වේවා, රටේ බරපතල විදුලිය අර්බුදයක් පවතින බව රහසක් නොවේ.

දශකයකට වැඩි කාලයක් තිස්සේ ලාභදායි පුනර්ජනනිය බලශක්තිය වෙනුවට ගල් අඟුරු සහ ඩීසල් මත යැපෙන විදුලිය මාෆියාවක් ක්‍රියාත්මක වීම මෙම අර්බුදයට ප්‍රධානම හේතුව බව අමුතුවෙන් කිවයුතු නැත.

මෙම මාෆියාව ක්‍රියාත්මක වන්නේ එක් අතකින් බලයට පත්වූ සෑම ආණ්ඩුවකම විෂයභාර ඇමතිවරුන්ගේ දැනුවත්භාවය යටතේ මෙන්ම විදුලිබල මණ්ඩලයේ සහ අදාළ අමාත්‍යංශයේ ඉහළම නිලධාරීන්ගේ ආනුභාවයෙන් බව ජනතාවට රහසක් නොවේ.

මෙම විදුලිය මාෆියාවට නිර්මාණය වීමෙහිලා ප්‍රධානම අනුබලයක් ලැබුණු සන්ධිස්ථානයක් වූයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය 2014 වසරේදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන අවස්ථාවයි.

අප එය සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්නේ, මෙරට ගල්අඟුරු මාෆියාව නිල වශයෙන්, මහා පරිමාණයෙන් ආරම්භ වූයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයත් සමඟ වීම හේතුවෙනි.

එතැන් සිට නොරොච්චෝලේ වෙත ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවුයේයැයි පැවසෙන අක්‍රමිකතා සංඛ්‍යාව විශාල අගයකි.

මෑතකදී ඒ පිළිබඳව වාර්තා වූ හොඳම උදාහරණයක් වූයේ පසුගිය වසරේ ඩුබායිහි බ්ලැක් සෑන්ඩ් නමැති ආයතනයක් හරහා නොරොච්චෝලේ වෙත ගල්අඟුරු මිලදී ගැනීමට යාමේදී අනාවරණය වූ වංචනික තත්වයයි.

මෙම ටෙන්ඩරය පිරිනැමීමේ දී ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝණය වී ඇති බවත් එමගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ 2022 සැප්තැම්බර් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිවාසිකම් පෙත්සමක් පවා ගොනු කළහ.

එසේම පසුගිය සතියේ විදුලි වෘත්තීය සමිති අනාවරණය කරන ලද්දේ පසුගිය වසර ගණනාවක් තිස්සේ මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු තොග සහ ඒවාට ගෙවන ලද සැබෑ මුදල අතර දැවැන්ත වෙනසක් පවතින බවයි.

ඇත්තෙන්ම අප මෙහිදී සාකච්ඡා කිරීමට යන්නේ ගල්අඟුරු හෝ වෙනත් විදුලියට සම්බන්ධ අක්‍රමිකතා හෝ බිල්පතින් විදුලි සැර වැදුණු ජනතාවගේ ශෝකාලාපය පිළිබඳව නොවේ.

අප සිහිපත් කරන්නට යන්නේ රටේ පවතින වත්මන් විදුලිය අර්බුද උග්‍රවීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ,එසේම රටට ඵලදායි නොවන ආයෝජනයක් ලෙස එක්ව තිබෙන නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය පිළිබඳවය.

ඒ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන වෙනුවෙන් චීනය විසින් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීම සඳහා කොන්දේසියක් ලෙස මෙම බලාගාරය, හම්බන්තොට වරාය ආකාරයෙන් සිය පාර්ශවයට පවරාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි නිල නොවන වාර්තා අනාවරණය කිරීමත් සමඟ, නොරොච්චෝලේ නැවතත් කරලියට පැමිණ ඇති බැවින්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවතත් ආවර්ජනය කිරීම වැදගත් වන බැවිනි.

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය අර්ධද්වීපයේ දකුණු කෙළවරේ ඉදිකර ඇති නොරොච්චෝලේ බලාගාරය ලක්විජය බලාගාරය ලෙසද හැඳින්වේ.

එය ශ්‍රී ලංකාවේ විශාලතම තාප බලාගාරයයි.

මෙම බලාගාරය 1995 දී ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් යෝජනා කරන ලද නමුත් 2007 වන තෙක් එහි ඉදිකිරීම් ආරම්භ නොවීය.

ව්‍යාපෘති භූමිය ආසන්නයේ සහ ඒ අවට ජීවත් වන ප්‍රජාවන් සහ ප්‍රදේශවාසීන් විසින් සිය ජන ජිවිතයට සිදුවන බලපෑම් හේතුවෙන් දියත් කරන ලද විරෝධතා හේතුවෙන් එලෙස ඉදිකිරීම් ප්‍රමාද විය.

බලාගාරයේ ඉදිකිරීම් සිදු කරන ලද්දේ China Machinery Engineering Corporation (CMEC) නමැති චීන සමාගම විසිනි.

එහි ඉදිකිරීම් අදියර තුනකින් සිදු කරන ලද අතර අවසන් අදියර 2014 දී නිම කරන ලදී.

පළමු අදියර මෙගාවොට් 300 ක් 2011 දී ද, දෙවන හා තෙවන අදියර 2014 දී ද ආරම්භ කෙරිණි.

මෙම බලාගාරයේ සම්පූර්ණ විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 900 කි.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.35 කි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට ණය නිකුත් කරන ලද්දේ චීන ආනයන අපනයන බැංකුව හෙවත් ‘එක්සිම්’ බැංකුව හරහාය.

කෙසේවෙතත් ආරම්භයේ සිටම බලාගාරය නිරන්තර ගැටළු සහ බිඳවැටීම් වලට මුහුණ දී ඇත.

අද වන විට නොරොච්චෝලේ කියූ පමණින් ජනතාවගේ සිහියට නැගෙන්නේ ‘බලාගාරයේ බිඳවැටීමක්’ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දරා ඇත්තේ ඇති විශාල මූල්‍ය පාඩුවකි.

මෙම බලාගාරය ප්‍රමිතියෙන් තොර සහ යල් පැන ගිය ද්‍රව්‍ය යොදා ඉදිකර ඇති බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඉතා අඩු මට්ටමක පවතින බවත් හිටපු විදුලිබල ඇමතිවරු, මෙන්ම විදුලි වෘත්තීය සමිති විසින්ද වාර ගණනකදී පෙන්වාදී ඇත.

අතුරු බිඳවැටීම් රාශියක් මධ්‍යයේ බලාගාරයේ සිදුව ඇති ප්‍රධාන බිඳවැටීමේ 25කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වරින් වර විදුලි බල මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවලට අන්තර්ගත කර තිබේ.

  • කම්හල ඉදිකිරීමේදී 2010 ඔක්තෝම්බර් මාසයේදී එම ස්ථානයේ ගින්නක් ඇති විය.
    ගින්නට හේතුව ලෙස දක්වා ඇත්තේ ගල්අඟුරු දහනය කිරීමෙන් අපද්‍රව්‍ය පිටවන චිමිනියක් වැසී යාමයි.
  • 2014 ජනවාරි 12 වන දින වාර්තා වූයේ, අලුත්වැඩියා කරන ලද කන්ඩෙන්සරයේ කාන්දුවක් හේතුවෙන් බලාගාරය වසා දමා ඇති බවයි.
    එය බලාගාරය එහි ආරම්භයේ සිට 26 වන වරටත් වසා දැමූ අවස්ථාව විය.
  • 2015 දෙසැම්බරයේදී, බහුවිධ බිඳවැටීමක් හේතුවෙන් බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ල අක්‍රිය විය.
  • 2016 මාර්තු මාසයේදී ජන යන්ත්‍රයක ඇති වූ දැවැන්ත පද්ධති බිඳවැටීමකින් පසු පැය අටකට වැඩි කාලයක් සමස්ත රටේම විදුලිය විසන්ධි විය.
  • 2020 අගෝස්තු මාසයේදී, බලාගාරයේ ඇතිවූ ‘තාක්ෂණික දෝෂයක්’ හේතුවෙන් රටපුරා විදුලිය ඇනහිටීමක් වාර්තා විය. විශේෂඥ කමිටුවක් 2017 පෙබරවාරි තරම් ඈත කාලයකදී නිර්දේශ කර තිබුණද, විදුලිබල පද්ධතියට හානි වූ එවැනි අවස්ථාවකදී භාවිතයට ගත හැකි සහායක (බාහිර) බල සැපයුම් යාන්ත්‍රණයක් විදුලි බල මණ්ඩලය සතුව නොතිබිණි.

මෙලෙස වසර ගණනාවක් තිස්සේ බලාගාරය දිගින් දිගටම අසාර්ථක වන්නේ මන්දැයි තේරුම් ගැනීමට සහ සුදුසු මැදිහත්වීම් තීරණය කිරීමට ලංවිම හෝ ලක්විජය පාලනාධිකාරිය විසින් එකදු අවස්ථාවකදීවත් නිසි පරීක්ෂණයක් සිදුකර නොමැති බව ඉතාම සුවිශේෂී තත්ත්වයකි.

2015 තරම් ඈත වසරකදී ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ වාර්ෂික වාර්තාවකට අනුව පවා, බලාගාරය වසාදැමීම හේතුවෙන් ජාතික ආර්ථිකයට එවකට සිදුව තිබූ ආදායම් අහිමිවීම රුපියල් බිලියන 6.5 කට ආසන්න විය.

එසේම බලාගාරයේ බිඳවැටීම් හේතුවෙන් පැය දහස් ගණනක ජනන පාඩුවක් ජාතික විදුලිය පද්ධතියට සිදුවී ඇත.

තවද, බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ චීන ඉංජිනේරුවන් විසින් පමණක් බවත්, ඕනෑම අලුත්වැඩියා කටයුත්තක් සඳහා ඇති අත්පොත් චීන භාෂාවෙන් පමණක් පවතින බවත් වැනි සුවිශේෂී තත්වයන්ද මෙම බලාගාරය ආශ්‍රිතව වාර්තාවේ.

මෙයින් අදහස් කරන්නේ කිසිදු චීන විශේෂඥ දැනුමක් නොමැතිව දේශීය ඉංජිනේරුවන්ට බලාගාරය ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි බවයි.

(එනම්, නොරොච්චෝලේ බලාගාරය ශ්‍රී ලංකාවට අයත් ව්‍යාපෘතියක් වුවද, ඊට මැදිහත් වීමට චීනය කිසිදු අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබාදී නැති බවයි).

නොරොච්චෝලේ බලාගාරයට සේවය ලබාදෙන චීන ඉංජිනේරුවන් 35 දෙනා නඩත්තු කිරීම සඳහා 2022 වන විට ලංවිමට ඩොලර් මිලියන 70කට වැඩි මුදලක් ගෙවිය යුතුව ඇත.

ඇත්තෙන්ම මෙවැනි අර්බුද රැසක්ම පවතින, චීනය විසින් පාලනය කරනු ලබන නොරොච්චෝලේ ගල්අඟුරු මේ වන විට රටට අත්කරදී ඇත්තේ, දැවැන්ත අලාභයක් මිස, ජාතික ආර්ථිකයට සහනයක් නොවේ.

වසර 10කර ආසන්න එහි බාධාකාරී ක්‍රියාකාරිත්වය විසින් විදුලිබල මණ්ඩලය අද ලබන දැවැන්ත ලාභයට විශාල දායකත්වයක් ලබාදී ඇති බව අසත්‍යයක් නොවේ.

ඒ අනුව සිය විදුලිය බිල්පත රජය විසින් ඉහල දමන සෑම විටකම රටේ ජනතාව රටට ‘සුදු අලියකු’ වැනි මෙම බලාගාරයේ රුපයක් සිහියට නගාගැනීමේ වරදක් නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27