ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී රෝගීව අසාධ්‍ය තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නාවික හමුදාව විසින් අද (03) දින කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
ත්‍රීකුණාමලය ධීවර වරායෙන් 2026 ඔක්තෝබර් මස 01 වැනි දින ධීවර කටයුතු සඳහා පිටත්ව ඇති ‘වෙනුෂ පුතා’ නමැති බහුදින ධීවර යාත්‍රාව, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් නාවික සැතපුම් 11ක පමණ දුරින් වූ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, එම යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු රෝගාබාදයකට ලක්වීම හේතුවෙන් අසාධ්‍යව ඇති බවත්, එම ධීවරයා වෙත කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට අනුව මෙම මෙහෙයුම සඳහා නැගෙනහිර නාවික විධානය වෙත අනුයුක්ත පි 460 වේග ප්‍රහාරක යාත්‍රාව යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කෙරුණා.
ඒ අනුව, එම ධීවරයා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමල මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලැබුවා.










