Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

විල්පත්තුව කපන බව බලධාරීන් පිළිගනී (වීඩියෝ)

අවුරා ලංකා ආයතනය රාජාංගනය ප්‍රදේශයේ සිදුකරන කෝමාරිකා වගා ව්‍යාපෘතිය හරහා විල්පත්තුව ප්‍රේරක කලාපයට හානි සිදුව ඇති බව අද පැවති අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී හෙළි වුණා.

ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීයි.

මෙම සාකච්ඡාවේදී නඩු පවරා ඇති භූමි ප්‍රදේශවල යළි සංවර්ධන ක්‍රියාකාරකම් සිදුවන බව එහි පැමිණි වනජීවී රාජාංගනය යාය 18 ප්‍රදේශය අවට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුළ අධිකරණ නියෝග පවා නොසලකා හරිමින් නැවත වරක් සිදුවන වන විනාශය පිළිබඳව අප දසත රෙඩ්ලයිට් විශේෂාංගය හරහා දිගින් දිගටම වාර්තා කළා.

එහිදී අප නිරන්තරයෙන් පෙන්වා දුන්නේ විල්පත්තු වනෝද්‍යානයට අයත් අධි සංවේදී කලාපයක් වන මෙම ප්‍රේරක කලාපය තුළ මෙරට පවතින නීති රීති උල්ලංඝනය කරමින් සිදුකරන මහා වන සංහාරයක් පිළිබඳවයි.

වසර 2018-2019 කාල සීමාව තුලදී මෙරට දේශපාලන බලාධිකාරයේ නොමද ආශිර්වාදය ලත් අවුරා ලංකා සමාගම විසින් මෙම නීති විරෝධී හෙළිපෙහෙළි කිරීම් සහ වගා ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණා.

රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කරමින් ප්‍රදේශයේ ජනතාවට විවිධ සිහින පෙන්වමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙම වගාව සඳහා පවරා ගැනීමටයි එම සමාගම කටයුතු කර තිබුණේ.

ඒ සඳහා ප්‍රදේශීය ප්‍රබල දේශපාලඥයෙකුගෙන් ලද ආශිර්වාදයත්, එවක රජයේ තිරය පසුපස සිටි ප්‍රබල දේශපාලඥයෙක්ගේ අනුදැනුමත් යටතේ අවම තරමින් මූලික පරිසර ඇගයීම් වාර්තාවක් හෝ නොමැති මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය පවා හිමිවී තිබුණා.

රටට ඩොලර් ලැබෙන සැබෑ ව්‍යාපෘතියක් ඒ හරහා ක්‍රියාත්මක වූයේ නම් අවම තරමින් මෙම ව්‍යාපෘතියක් හරහා සිදු වූ පරිසර හානිය පිළිබඳව අමතක කර දැමිය හැකි වුවද පුදුමයට කාරණය වන්නේ අද වන විටත්, ආරම්භ වී වසර පහකටත් වැඩි මෙම ව්‍යාපෘතිය හරහා අත්පත් කරගත් ඉඩම්වල එකදු කෝමාරිකා පැලයක් හෝ සිටුවා නොමැති වීමයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යාන ප්‍රේරක කලාපයට ඉතා ආසන්නයේ පවතින ඉඩම් මෙම කෝමාරිකා වගාව සඳහා තෝරාගැනීමත් සමග පරිසර, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් මේ පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසු වුණා.

එවන් තත්ත්වයක් යටතේයි දසත රෙඩ්ලයිට් කණ්ඩායම අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඇත්ත රටට හෙළි කිරීමට කටයුතු කළේ.

ඒ සමග මෙම විනාශය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවීම සතුටට කරුණක්.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී මෙම ගැටළුව සම්බන්ධයෙන් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහල් වන්නාරච්චි මහතා පැමිණ සිටි නිලධාරීන් ප්‍රශ්න කළා.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර විසින් අනුරාධපුර දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ W.M.K.චන්ද්‍රරත්නගෙන් කළ විමසීමේදී ඒ ඔහු කියා සිටියේ, විල්පත්තුව ප්‍රේරක කලාපය තුළ මෙවැනි වනාන්තර එළි කිරීමක් සිදුවන බවත්, හා වන ජීවී සංරක්ෂණ ආඥා පනත හා මධ්‍යම පරිසර අධිකාරිය පනත අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවත්වාගෙන යන බවයි.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් විසින්ම වෙනත් විමර්ශන කටයුතු කීපයක්ද සිදුකරමින් පවතින බවත් ඔහු පැවසුවා.

දේශපාලනඥයන් පමණක් නොව ප්‍රදේශයේ රජයේ මෙන්ම ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ද විවිධ වරප්‍රසාද වරදාන ලබාදෙමින් සිදුකරගෙන ගිය මෙම නීති විරෝධී් වගා ව්‍යාපෘතිය හරහා විල්පත්තු අධි සංවේදී ප්‍රේරක කලාපයට බලපෑමක් සිදුවන බව පරිසරවේදීන් විසින් දිගින් දිගටම අනතුරු ඇඟවුවා.

රුපියල් කෝටි ගණනක් වැය කරමින් රාජාංගනය යාය 18 ප්‍රදේශයේ මඟ දෙපස දැවැන්ත කාණු සකසමින් ඉඩම් සංවර්ධනය කරමින් ආරම්භ කළ මෙම වගා ව්‍යාපෘතියට ජලය ලබාගැනීමේ අරමුනෙන් විල්පත්තු කලාඔය අඩවි කාර්යාලය ආසන්නයේම අමුණක් ඉදිකිරීමට පවා මෙලෙස කටයුතු සිදුකර තිබුණා.

කෙසේ වෙතත්, ඒ් ප්‍රදේශය සෘජුවම විල්පත්තු ප්‍රේරක කලාපයට අයත්වීම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව මතු කළ විරෝධතා මත එය අත්හැර දමන්නටයි අදාල සමාගමට සිදුවුයේ.

පසුව 2020 වසරේදී විල්පත්තු කලාඔය වනජීවී අඩවි කාර්යාලය මගින් මෙම ක්‍රියාවලියට එරෙහිව නොච්චියාගම අධිකරණයේ නඩුකරයක් ගොනු කරනු ලැබුවා.

2021 වසරේදී ද මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතියට ඉහත අධිකරණයේම නඩුකරයක් ගොනු වන්නේ විල්පත්තුව ප්‍රේරක කලාපයේ සිදු කරන නීති විරෝධී ඉඩම් සංවර්ධනය කිරීම් හේතුවෙන්.

විශ්මයට කරුණ වන්නේ කෝමාරිකා වගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සහ ඊට අදාල කර්මාන්ත ශාලා ඇතුලු නොයෙකුත් යටිතල පහසුකම් සඳහා වෙන්කෙරුණු ඉඩම් මේ දක්වාත් වන වැදී තිබීමයි.

සමාජයේ ඇතැම් පිරිස් මෙම ව්‍යාපෘතියට චෝදනා එල්ල කලේ විල්පත්තුව ආශ්‍රිතව පැරණි රජ දවස වළදමා ඇති මහා ධනස්කන්ධයන් ඇති ස්ථාන ස්කෑන් යන්ත්‍ර මගින් හඳුනාගෙන එවා ගොඩදැමීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතියට මෙම ඊනියා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කළ බවයි.

නොච්චියාගම නගරයේ ගුවන් විදුලි යන්ත්‍ර අළුත්වැඩියා ස්ථානයක් පවත්වා ගෙන ගිය විරංජිත් තාඹුගල මහතා හිටි හැටියේ අවුරා ලංකා නැමැති සමාගමේ හිමිකරු ලෙසින් කරළියට පැමිණෙන්නේ ද මේ ධනස්කන්දයේ ආනිසංසයෙන් බවයි මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරණා පිරිස් පවසන්නේ.

විල්පත්තු වන අඩවියට කැලෑපාළුවන්ගේ බලපෑම එල්ල වු පළමු අවස්ථාව මෙය නොවෙයි.

මීට පෙර අවස්ථා ගණනාවකදීත් රජයේ ප්‍රබල මැති ඇමතිවරුන්ගේ මැදිහත්වීම මත නැවත පදිංචි කිරීම් බෝඩ් ලෑල්ලට මුවා වී සිදු කළ වන විනාශයන් මාධ්‍ය හරහා හෙළිදරව් කරන තෙක් වනජීවී දෙපාර්තමේන්තුව නෑසු කන් සහ නුදුටු දෑස් ඇතිව සිටි බව නොරහසක්.

විල්පත්තු උතුරු සීමාවේ සිදුකෙරුණු වන සංහාරයට එරෙහි වු මාධ්‍යය දකුණේ සිදුවන වන විනාශයත් මේ වනවිට අනාවරණය කර අවසන්.

අපගේ හෙළිදරව් කිරීම් හමුවේ නීතිය කරවන බලධාරීන්ගේ දෙනෙත් මෙම දැවැන්ත වන විනාශය දෙසට විවරවීම සතුටට කරුණක්.

මේ විනාශයට සාධාරණය ඉටු කෙරෙන තුරු දසත රෙඩ්ලයිට් අවදියෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?