Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ට්‍රම්ප්ගේ චීන සාකච්ඡාවලදී ටිබෙට් මානව හිමිකම් නොසලකා හැරෙන බවට චෝදනා

චීනය සමඟ වෙළෙඳ හා ආර්ථික සබඳතා කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් මානව හිමිකම් ගැටලු නොසලකා හැරෙන බවට ටිබෙට් පිටුවහල් රජයේ නායක පෙන්පා ට්සෙරින් අමෙරිකාවට චෝදනා කරනවා.

වොෂින්ටනයේදී රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සමඟ පවත්වන සාකච්ඡාවලදී ටිබෙට් ප්‍රශ්නය හෝ මානව හිමිකම් පිළිබඳ මෙතෙක් සඳහන් කර නොමැති බවයි.

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකාවේ ටිබෙටයට ඇති සහාය අඛණ්ඩව පැවතිය ද, ජනාධිපති මට්ටමේ සාකච්ඡාවලදී එම ප්‍රශ්නයට අවධානය යොමු නොවන බව ඔහු සඳහන් කළා.

1950 වසරේදී චීනය ටිබෙටයේ පාලනය සියතට ගත් අතර, එය චීනය හඳුන්වන්නේ සාමකාමී විමුක්තියක් ලෙසයි.

කෙසේ වෙතත්, චීන පාලනය යටතේ ටිබෙට් ජනතාවගේ භාෂාව, ආගම සහ සංස්කෘතික අනන්‍යතාව දුර්වල කෙරෙන බවට ට්සෙරින් චෝදනා කරයි. එම චෝදනා බීජිං පාලනය ප්‍රතික්ෂේප කරනවා

චීනය සමඟ ආර්ථික සබඳතා පවත්වාගෙන යන අතරතුර මානව හිමිකම් පිළිබඳ ද අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ලබන සතියේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවේදී ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර පැවැත්වෙන සාකච්ඡාවලට ටිබෙට් ප්‍රශ්නය ඇතුළත් වනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බව ද ඔහු පැවසුවා.

එසේ වුවද, ටිබෙටය අමෙරිකා-චීන සාකච්ඡාවලදී කේවල් කිරීමේ මෙවලමක් බවට පත්වීම වැළැක්වීම ඇතැම් විට වඩාත් සුදුසු විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.