රුපියල් අට කෝටියක් වටිනා මෙතැම්පටමයින් හෙවත් ” අයිස් ” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයා ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු රත්මලාන, ජයමාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.
ඔහු ඕමානයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරණ ගුවන් යානයෙන් ඊයේ (29) රාත්‍රී 07.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 994ක ප්‍රමාණයක් පාර්සල් 10ක් ලෙස සකස් කර ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ බිස්කට් සහ චොකලට් අඩංගු පෙට්ටි තුළ සූක්ෂම ලෙස සඟවාගෙන මෙම සැකකරු රැගෙන විත් තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීවරුන්ගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් ලබාදුන් තොරතුරු මත මෙම ගුවන් මගියා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
සැකකරු අද (30) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













