Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කාවන්තිස්ස කෙරෙහි අසීමිත සෙනෙහසින් බුදුරුවකන්දට ගිය සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත්ගේ සහභාගීත්වයෙන් බැතිබර ධර්ම දේශනාවක්… රාජාංගණයේ සුමනසාර හිමියන්ගෙන් ධර්ම අනුශාසනාවක්!

මිනිසුන්ගේ හදවත් තුළ සදාකාලික මතකයක් ඉතිරි කරමින් මෙලොවින් සමුගත් කාවන්තිස්ස ඇත් රජුට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ධර්ම දේශනාවක් අද (16) රාත්‍රියේ ගල්ගමුව, බුදුරුවකන්ද ඓතිහාසික රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බැතිබර දායකත්වයෙන් සහ ඔහුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පින්කම සඳහා දිවයිනේ නන් දෙසින් විශාල ජනතාවක් එක්ව සිටිනු දක්නට ලැබුණා.

කාවන්තිස්ස ඇත් රජුගේ මතකය වෙනුවෙන් පැවැති මෙම ධර්ම දේශනාව බෞද්ධයා නාලිකාවේ විචිත්‍ර ධර්ම කථික රාජාංගණයේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ අතර, කාවන්තිස්ස ඇත් රජුට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් පැමිණි ජනතාවගෙන් විහාරස්ථාන පරිශ්‍රය පිරී පැවතුණා.

කාවන්තිස්ස ඇත් රජු මියගොස් මාසයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කර ඇති මෙම පින්කම් මාලාවේ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම ධර්ම දේශනාව පැවැත්වුණා.

කාවන්තිස්ස ඇත් රජුගේ මතකය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අරමුණින් බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේදී ඔහුගේ ජීවමාන පෙනුමැති පිළිරුවක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

විහාරාධිපති ශාස්ත්‍රපති, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය හේරත්ගම සිරි උපනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්, විහාරවාසී පන්නල අමිතානන්ද හිමියන් ප්‍රමුඛ කාවන්තිස්ස පදනම විසින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබනවා.

එහි මුල්ගල් තැබීම පසුගියදා පෙරවරු 8.24ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණු අතර, ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කුමාර විසින් මුල්ගල තැබීම සිදුකරනු ලැබුවා. එම අවස්ථාවේදී දේශපාලනඥයන් කිසිවකු සම්බන්ධ කර නොගෙන ආගමික නායකත්වය හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීම ද කැපී පෙනුණා.

ප්‍රවීණ මූර්ති ශිල්පී හා ගුරු උපදේශක ජේ. රත්නායක විසින් කාවන්තිස්ස ඇත් රජුගේ පිළිරුව නිර්මාණය කිරීමට නියමිත බවට වාර්තාවෙනවා.

මේ අතර, මෙම පින්කම් මාලාවේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස හෙට (17) මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක් පැවැත්වීමට ද කාවන්තිස්ස කමිටුව කටයුතු යොදා තිබෙනවා.

සිය ජීවිත කාලය පුරා ගල්ගමුවේ ජනතාවගේ ආදරය දිනාගත් කාවන්තිස්ස ඇත් රජු අද ජීවතුන් අතර නොමැති වුවද, ඔහු වෙනුවෙන් රටේ විවිධ ප්‍රදේශවලින් ජනතාව එක්රැස් වීමෙන් පෙනී යන්නේ සත්ත්වයකු කෙරෙහි මිනිස් හදවත් තුළ ඇතිවිය හැකි අසීමිත සෙනෙහසයි.

කාවන්තිස්ස ඇත් රජුගේ ගමන නිමාවී ඇත. එහෙත් ඔහු වෙනුවෙන් නැඟෙන මතකයේ රැල්ල තවමත් නිමාවී නැත. බුදුරුවකන්දෙන් ඇරඹෙන මේ අනුස්මරණය ඒ ආදරයේ ජීවමාන සාක්ෂියකි.