කඩුවෙල සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

කඩුවෙල වැව පාර ආසන්නයේ ලඳු කැලෑවක තිබී හමුවූ පිරිමි මළ සිරුර සම්බන්ධයෙන් පුද්ගලයන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු චාමර මධුශංක නොහොත් කොට චාමර නැමති 29 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරුවන් මෙම ඝාතනය සඳහා යොදාගත් හොකී පිත්තක්, කොටස් තුනකට කැඩුණු තිරරෙදි පොල්ලක් සහ වයර් එකක් තී රෝද රථයක් මෙන්ම යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පසුගිය 31 වනදා ඝාතනයට ලක්වූ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර ඇත්තේ හමු වීමට අවශ්‍ය බවයි.

ඒ අනුව එම පුද්ගලයා කොහිලවත්ත ප්‍රදේශයේ පාසලක් අසලට ගෙන්වාගෙන මිතුරෙකුගේ  තී රෝද රථයට නංවාගෙන මෙගොඩ කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව තවත් පුද්ගලයන් දෙදෙනකු සමග එක්ව ප්‍රධාන සැකකරු මෙම පුද්ගලයට නිවසේ කාමරයක දින දෙකක් තිස්සේ රඳවාගෙන පහර දී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පහර දෙන අවස්ථාවේ දී කෑගසන හඬ පිටතට ඇසීම වැළක්වීම සඳහා කැසට් යන්ත්‍රයක් ද අධික ශබ්දයෙන් ක්‍රියාත්මක කර තිබී ඇතැයි සඳහන්.

පහර කෑමට ලක්වූ පුද්ගලයා මිය යාමෙන් අනතුරුව මෙලෙස කඩුවෙලට මළ සිරුර ගෙනත් දමා ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්දයෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පැවැත්වීමේදී ලැබුණු රහසිගත තොරතුරක් අනුව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් වසරකට පමණ පෙර මිය ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් බව සඳහන්.

එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට ඔත්තු ලබාදුන් බවට ඝාතනයට ලක්වූ පුද්ගලයා මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ගේ බිරිඳට පැවසීම හමුවේ ඊට උරණ වී මෙම පහරදීම සිදුකර තිබූ බවටයි ප්‍රධාන සැකකරු ප්‍රකාශ කර ඇත්තේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා රඳවාගෙන පහර දුන් ප්‍රධාන සැකකරුගේ නිවසේ කාමරයේ බිත්තිවල ලේ පැල්ලම් රැසක් දක්නට ඇතැයි ද පොලිසිය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඝාතනය වූ පුද්ගලයා හැඳ සිටි ඇඳුම් ඇලකට විසි කළ බව කළ බව සැකකරුවන් ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 36 හා 47 වයස්වල පසු වන්නන්.

සැකකරුවන් ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක කාලයකට රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
4
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !