Rajapura Handi Oil
Rajapura Diabetic Powder

උඩමළුවේ ප්‍රධාන කපුවාගේ ගෙදරින් දඩමස් ඇල්ලූ වනජීවී නිලධාරීන් මානව හිමිකම් කොමිසමට

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩවසන උඩමළුවේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන බී.ජයවර්ධන නැමැත්තා සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනෙක් අද අනුරාධපුර දිස්ත්‍රික් මානව හිමිකම් කාර්යාලයට පැමිණ ප්‍රකාශ ලබාදෙනු ලැබුවා.

2025 වසරේ නොවැම්බර් 18 වන දින උඩමළුව ප්‍රධාන කපු මහතාගේ නිවස වැටලීමක් සිදුකර ගල් ඉබ්බන්, ඉබි මස්, ඉබි බිත්තර, මී මින්නෙකුගේ මස් , ගෝන, කැබැල්ලෑ සහ ඉත්තෑ මස් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබුණා.

මෙම ක්‍රියාවේදී තමන් රාජකාරී කරන උතුම් ස්ථානයට , ගමට සහ තනතුරට මෙන්ම විහාරගම් නාමයට අපකීර්තියක් ඇති කළේ යැයි පවසමින් උඩ මළුව ප්‍රධාන කපු මහතාවන බී. ජයවර්ධන නැමැත්තා අනුරාධපුර දිස්ත්‍රික් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව වනජීවී සහකාර අධ්‍යක්ෂක චන්න සුරවීර ඇතුළු වනජීවී අඩවි ආරක්ෂකවරුන්, අඩවි සහාකාරවරුන් , වනසත්ව අඩවි ආරක්ෂක හා වනසත්ව නියාමක යන නිලධාරීන් හත්දෙනකු අද (17) දිනයේ අනුරාධපුර දිස්ත්‍රික් මානව හිමිකම් කොමිසම වෙත කැඳවා ප්‍රකාශ සටහන්කර ගැනීම සිදුකළ බවයි වාර්තා වුණේ.

මේ අතර අදාළ පැමිණිල්ල සිදුකළ උඩමළුව ප්‍රධාන කපු මහතාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවීම නිසා ඔහු අද දින එහි පෙනී නොසිටින බව දන්වා තිබුණා.