Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමට එකඟතාව

ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීම සහ ඒ සඳහා පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත් වුණා.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී, අදාළ උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමටත්, ඒ සඳහා පවතින බාධා නිරාකරණය කරමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එකඟතාව පළවුණා.

මෙහිදී විශේෂයෙන්ම ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය ක්‍රමවේදයන්ට අදාළ පස් අවුරුදු උපාධි පාඨමාලා සාර්ථකව අවසන් කළ උපාධිධාරීන් සඳහා නියමිත වසරක අනිවාර්ය සීමාවාසික පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික හා පරිපාලනමය ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ලක් කෙරුණා.

එහිදී ඊළඟ වසර තුළ සීමාවාසික පුහුණුව සඳහා කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට තීරණය වුණා.

එමෙන්ම එලෙස කණ්ඩායම් දෙකක් බඳවා ගැනිමේ දී ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කිරීම සඳහා අදාළ ආයතන මට්ටමින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

මෙම උපාධිධාරීන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය යන පීඨවල පස් අවුරුදු උපාධි පාඨමාලා හදාරා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති පිරිසක්.

යෝජිත සීමාවාසික පුහුණු වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා ආයුර්වේද රෝහල්වලදී වසරක කාලයක් පුහුණුව ලැබීමට මෙම උපාධිධාරීන්ට අවස්ථාව සැලසීමට නියමිතයි.

අදාළ පුහුණුව ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ලබාගත් න්‍යායාත්මක හා සායනික දැනුම ප්‍රායෝගික වෛද්‍ය සේවාව තුළ තවදුරටත් වර්ධනය කරගැනීමටත්, රෝගී සත්කාර සේවාවන් සම්බන්ධයෙන් අවශ්‍ය වෘත්තීය පළපුරුද්ද හා නිපුණතා අත්පත් කරගැනීමටත් මෙම සීමාවාසික පුහුණුව අතිශය වැදගත් වනවා.

එමෙන්ම, සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කිරීම ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ද අත්‍යවශ්‍ය සුදුසුකමක්.