මෙක්සිකානු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයෙකු වන ෆවුස්ටෝ ඉසිඩ්‍රෝ මෙසා ෆ්ලෝරස් විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
FBI ආයතනයට අවශ්‍යව කර සිටින ප්‍රධානතම අපරාධකරුවන් දසදෙනා අතර සිටින, මෙසා ෆ්ලෝරස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙක්සිකානු ආරක්ෂක අංශ සමඟ පැය ගණනක් පැවති වෙඩි හුවමාරුවකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම මෙහෙයුමේ දී පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ සන්නද්ධ සාමාජිකයන් හත්දෙනෙකු සහ මෙක්සිකානු හමුදා සාමාජිකයන් සිව්දෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
මෙක්සිකෝවේ සිනාලෝවා ප්‍රාන්තයේ දී මෙසා ෆ්ලෝරස් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, මොහුව ඇමරිකාවට පිටුවහල් කර ගැනීමට ද එරට බලධාරීන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙසා ෆ්ලෝරස්ට එරෙහිව මෙක්සිකෝවේ නඩු පවරා ඇති අතර, ෆෙන්ටැනිල්, කොකේන්, හෙරොයින් ඇතුළු මාරාන්තික මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මොහු විසින් ඇමරිකාවට සපයා ඇති බවයි අනවරණය වී ඇත්තේ.
මෙම මෙහෙයුමේ දී මෙසා ෆ්ලෝරස් සමඟ ඔහුගේ අපරාධ ජාලයට සම්බන්ධ තවත් හත්දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට මෙක්සිකානු විශේෂ බලකායට හැකිව තිබෙනවා.
ඒ අතර මෙසා ෆ්ලෝරස්ගේ ඥාති සහෝදරයෙකු වන එම සංවිධානයේ දෙවැනි ප්‍රධානියා සහ සංවිධානයේ මූල්‍ය කටයුතු මෙහෙයවන ඔහුගේ මස්සිනා ද සිටින බව මෙක්සිකානු ආරක්ෂක ලේකම් කාර්යාලය සඳහන් කරනවා.
එක්සත් ජනපද බුද්ධි අංශ ලබාදුන් ඔහුගේ ස්ථානගත වීම පිළිබඳ තොරතුරු මත මෙක්සිකානු විශේෂ බලකාය මෙම මෙහෙයුම දියත් කරනු ලැබූ අතර, ක්ෂණික රහසිගත මෙහෙයුමක් ඔස්සේ ඔහුව මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ.
මේ අතර ආසියානු සංචාරය අවසන්කර ධවල මන්දිරයට ආපසු පැමිණි දා සිට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පීඩනය හමුවේ මෙක්සිකෝව මත්ද්‍රව්‍ය ආශ්රිත අපරාධ මැඩපැවැත්වීමේ උත්සාහයන් වේගවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
