අවුරුදු 14 ක් වන පාසල් සිසුවෙකුව පැහැර ගෙන ගොස් ගසක බැද දිමි ගොටු සහ කහඹිලියා දැමූ පුද්ගලයා අත්අඩංගුවට

වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවෙකුව බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ගසක බැද දිමි ගොටු සහ කහඹිලියා එම දරුවාගේ සිරුරට දමා පහර දුන් බව කියන 17 හැවිරිදි සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය පැවසිය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – බංගදෙණිය,දිගන්වැව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙකුවය.සැකකරු ව්‍යාපාරිකයෙකු ලෙස හදුනා ගෙන ඇත.

සිද්ධියට මුහුණ දී ඇති දරුවා බංගදෙණිය – ඇලස්වත්ත ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිටින විට පැමිණ ඇති සැකකරු ඔහුව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.අනතුරුව සැකකරුට අයිති බව කියන වත්තක රැගෙන ගොස් ගසක බැද පහර දී ඇති බව පොලීසියට ලැබී ඇති පැමිණිල්ලේ සදහන් වේ.පහර දීමට පෙර සැකකරු විසින් තමන්ගේ සිරුරේ කහඹිලියා අතුල්ලා සිරුරට දිමි ගොටු දැමූ බවද දරුවා පොලීසියට පවසා ඇත.

ව්‍යාපාරිකයෙකු වන සැකකරුට අයත් බව කියන ඩීසල් තොගයක් පසුගිය දිනක කිසියම් අයෙකු විසින් සොරකම් කර ඇත.එම ඩීසල් තොගය සොරකම් කර ඇත්තේ මෙම දරුවා බවට සැකකරමින් පහර දීම සහ හිරිහැර කිරීම සිදු කර ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.