Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට තීරණයක්

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට ඊයේ (20) කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ සභාපතීත්වයෙන් රැස්වූ පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී තිබෙනවා.

ඒ, අනුව නොවැම්බර් 23 සඳුදා, පෙ.ව 11.00 සිට ප.ව 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

තවද, දෙසැම්බර් 05 සෙනසුරාදා, පෙ.ව 11.00 සිට ප.ව 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් (දෙවැනිවර කියවීම) නියමිතයි.

එසේම, දෙසැම්බර් 07 සඳුදා, පෙ.ව 11.00 සිට ප.ව 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

(මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීමේ විවාදය පවත්වා කල් තබා ඇත)

ඒ, අනුව ඉහත දිනයන්හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනේ.

මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට අදාළ යෝජනා ත්‍රිත්වයකට ද පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්‍රමිතීන් සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කිරීම සහ කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්‍ෂණ නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කර බැලීම, එවැනි සිද්ධියක් නැවත සිදුවීම වළක්වා ගැනීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනා ත්‍රිත්වයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.