ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවරයක් පැළඳවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට ඇතැමුන් විවිධ වැරදි ප්‍රචාරයන් ගෙන යමින් සිටින බවත්; බුද්ධ ප්‍රතිමාවට එසේ පළඳවනු ලැබූයේ මෙරට විශේෂඥ වෛද්‍යවරයකුගේ ඉල්ලීමක් මත එම පවුලේ පිරිස විසින් පඬු පොවා විශේෂයෙන් සැකසූ කඨින චීවරයක් බවත් අවුකන රජමහ විහාරධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මඛිත්ති හිමියෝ පවසනවා.
අප වාර්තාකරු වෙත අදහස් දක්වමින් විහාරාධිපති හිමියන් සඳහන් කළේ; ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවරයක් පැළඳවීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නූගත් අනාවබෝධයෙන් යුත් පිරිසක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් කරමින් සිටින බවයි.
අවුකන ප්‍රතිමාවට චීවරයක් පළඳා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් ඇතුළත් ව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විවිධ පළ කිරීම් සම්බන්ධයෙන් කළ විමසීමකදීයි; විහාරාධිපති හිමියන් මේ බව සඳහන් කළේ.
මීට දින කිහිපයකට ඉහත දී තමන්ගෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් විශේෂ කඨීන චීවර පූජාවක් පැවැත්වීමට අවශ්‍ය බවට ඉල්ලීමක් කරනු ලැබූ බවත්, එම ඉල්ලීමට අනුව එම වෛද්‍යවරයා ඇතුළු පිරිස ඊයේ දිනට යෙදී තිබූ පුරපසළොස්වක පොහොය දිනයේ දී එම කඨින චීවරය අවුකන ප්‍රතිමාවට පූජා කළ බවත් කියා සිටියා.
එම විශේෂ කඨින චීවරය උස අඩි 42කින් හා පළල අඩි 23කින් යුක්ත ව සකස් කර සම්ප්‍රදායානුකූල ව පඬු පොවා සකස් කිරීමට එම වෛද්‍යවරයා ඇතුළු පිරිස කටයුතු කර තිබූ බව ද අවධාරණය කළා.
එලෙස සකස් කර තිබූ කඨින චීවරය ඊයේ 26 වන දිනට යෙදී තිබූ පොහොය දිනයේ අවුකන විහාරස්ථානය වෙත වැඩමවා එතැන් පටන් එදින විහාරස්ථානයේ සිල් සමාදන් ව සිටි උපාසක පිරිස ද සමග ශබ්ධ පූජා පවත්වමින් පෙරහරකින් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියසට වඩමවනු ලැබුවා.
ඉන් අනතුරුව එම සැදැහැවත් පිරිස එම කඨින චීවරය අවුකන බුද්ධ ප්‍රතිමාවහන්සේ වෙත පළඳවා පූජා කිරීමට කටයුතු කළ බවත්; පසුව පැය තුනක පමණ කාලයකින් පසුව ඔවුන් එම කඨින චීවරය ප්‍රතිමාවෙන් ඉවත්කර අවුකන විහාරස්ථානයට පූජා කිරීමට කටයුතු කරනු ලැබූ බවයි විහාරාධිපති හිමියන් පැවසුවේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද පැමිණ විශේෂ විමර්ශනයක් සිදු කළ බවත්; පෞරාණිකත්වයට හෝ පිළිමයට කිසිදු හානියක් සිදු ව නොමැති බව ද; තමන් එසේ වීමට ඉඩ නොතබන බව ද විහාරාධිපති හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.