Update – නාවික හමුදා මෙහෙයුමක දී උතුරු වෙරළෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ අයිස් සහ හෙරොයින් කිලෝ 81ක්

උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමේ දී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 81ක් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාව අද (27) උදෑසන යාපනය, මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය බවට, යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ දායකත්වය යටතේ සිදුකෙරෙණු පරීක්‍ෂාවේ දී තහවුරු කර ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45.5ක පමණ තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35.7ක පමණ තොගයක් ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ එක් සැකකරුවෙක් සහ එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යාත්‍රාවක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.