කැබිතිගොල්ලෑව, කැළෑපුලියන්කුලම රක්ෂිත සිමාවේ කලක සිට දැව ජාවාරමේ යෙදුණු පුද්ගලයින් පිරිසක් ගමන්ගත් ජීප් රථයක් පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ජීප් රථය නවත්වන ලෙසට අණ කර ඇති අතර ජාවාරම්කරුවන් අණ නොතකා ධාවනය කිරීමේදී එම නිලධාරීන් විසින් ජීප් රිය ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
මෙම සිද්ධිය සිදු වී ඇත්තේ ඊයේ (27) රාත්‍රියේ දී යි.
වෙඩි වැදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
රක්ෂිතය තුළ දැව ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම වෙඩි තැබීම සිදු වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පවසා සිටියේ.
මෙම රක්ෂිතයේ දිගින් දිගටම තේක්ක සහ කරුවල වැනි දුර්ලබ ශාක ඉලක්ක කරගනිමින් මෙම දැවැ ජාවාරම සිදුවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් සැකකරුවන් කිලෝමීටර් 12ක් පමණ දුරට කැබ් රථය පදවාගෙන ගොස් පසුව 1990 ගිලන්රථ සේවාව අමතා තිබෙනවා.
තුවාලකරුවන් දෙදෙනා මේ වනවිට වව්නියාව රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බව යි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව හා වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














