spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ICTA ආයතනයේ අවිධිමත් පරිපාලනය ඇතුළු දුර්වලතා රැසක් ගැන කෝප් කමිටුවේ අවධානය

ICTA ආයතනයේ අවිධිමත් පරිපාලනය ඇතුළු දුර්වලතා රැසක් පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

ආරම්භයේදී පැවති අපේක්ෂිත අරමුණෙන් 25% වත් ඉටුකර ගැනීමට නොහැකිවු බවටයි ආයතනයේ සභාපතිවරයා මෙහිදී පිළිගෙන ඇත්තේ.

එමෙන්ම විසි වසරක් තුළ අත්හැර දැමූ ව්‍යාපෘතීන් පිළිබඳ විමර්ෂණයක් සිදු කිරීමට සහ වෙනත් ආයතනයකට වගකීම පවරන තෙක් කරගෙන ආ වැඩ කරගෙන යාමට කටයුතු කරන ලෙසට කෝප් කමිටුව උපදෙස් ලබාදී තිබෙනවා.

නිසි ප්‍රතිපත්තියකින් තොරව විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර අතරමග නතර කිරීම නිසා පසුගිය කාලයේ අහිමි වූ මුදල රුපියල් බිලියන 20 -30ක් විය හැකි බවයි මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

තාක්ෂණික ආයතනයක් ලෙස යම් අධිකාරි බලයක් තිබිය යුතු වුවද රජයේ යම් නීතිමය රාමුවකට යටත් විය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ආයතනය කැඳවා තිබුණා.

මෙහිදී ආයතනයේ 2018 සහ 2019 මූල්‍ය වර්ෂ සදහා විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනයට අදාළ පහත සදහන් මූලික කරුණු පිළිබදව විමර්ශනය කිරීම සිදු විය.

නිසි ප්‍රතිපත්තියකින් තොරව විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට අතරමග නතර කිරීම නිසා රජයට විශාල මූල්‍ය පාඩුවක්

නිසි ප්‍රතිපත්තියකින් තොරව විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට අතරමග නතර කිරීම නිසා රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව මෙහිදී අනාවරණය විය. එලෙස පසුගිය කාලයේ අහිමි වූ මුදල රු. බිලියන 20 -30 ක් විය හැකි බව මෙහිදී තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පැවසීය.

මෙය තාක්ෂණයට සම්බන්ධ ආයතනයක් ලෙස යම් අධිකාරි බලයක් තිබිය යුතු වුවද රජයේ අනෙකුත් නීතිරීති මගින් යම් පාලනයක් තිබිය යුතු බවත් එසේ නොවීම නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවී ඇති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. රජයට අයත් සමාගමක් ලෙස සැලකිය හැකි වුවද ආදායම් උත්පාදනය නොකරන භාණ්ඩාගාරය මත යැපෙන ආයතනයක් වීම ගැටලුවක් බවත් ඒ මහතා පැවසීය.

පසුගිය වසර විස්සක කාලය තුළ අතහැරදමා ඇති සියලු ව්‍යාපෘති, මූල්‍ය අලාභයයන් සහ සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබද පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට නියෝග

ඉතිහාසය තුළ මෙම ආයතනය විවිධ අමාත්‍යාංශ යටතට පත්ව තිබීමත්, ආයතනය සතුව ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැතිවීම මෙන්ම ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීමත් ප්‍රධාන ගැටලුවක් බවත් කමිටුව විසින් පෙන්වා දෙන ලදී. ඉතිහාසය තුළ විවිධ රජයයන් යටතේ මෙම ආයතනයේ අධ්‍යක්ෂවරු ලෙස පත්වූ ඇතැමුන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේම විවිධ පෞද්ගලික සමාගම් හිමිකරුවන් සහ නියෝජිතයන් වීමද මෙම අක්‍රමිකතාවලට හේතුවී ඇතිබව සාකච්ඡා විය.

මෙම කටයුතු මූල්‍ය අපරාධ ගණයට වැටෙන බැවින් පසුගිය වසර විස්සක කාලයක් තුළ මෙම ආයතනය මගින් අතහැර දමා ඇති ව්‍යාපෘති මොනවාද ඒ සම්බන්ධ වියදම් සහ සම්බන්ධ වූ පුද්ගලන් ඇතුළු සියලු කරුණු පිළිබද යම් කමිටුවක් පත් කර පුළුල් සොයා බැලීමක් සිදුකර වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙස කමිටු සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදී.

ඒ අනුව මේ සම්බන්ධව විගණකාධිපතිවරයාගේ විමර්ශන ද යොදා ගනිමින් ඉදිරියේදී පුළුල් සොයා බැලීමක් සිදුකිරීමට තීරණය විය.

කැබිනට් තීරණයේ කොන්දේසිවලට පටහැනිව කොන්ත්‍රාත් සේවක පිරිසක් ස්ථිර කාර්ය මණ්ඩලට අන්තර්ග්‍රහණය කිරීම
2020 වසරේදී කැබිනට් තීරණයේ කොන්දේසිවලට පටහැනිව බදවා ගැනීමේ පටිපාටියක් සහ අනුමත සේවක සංඛ්‍යාවක් නොමැතිව කොන්ත්‍රාත් කාර්ය මණ්ඩලයේ බහුතරයක් ස්ථිර කාර්ය මණ්ඩලට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ද විමර්ශනය කෙරිණි.

සේවක මණ්ඩලය බදවා ගැනීමේදී ආයතනය සතුව ස්වාධීන තීරණ ගැනීමේ බලය තිබුණද රාජ්‍ය භාණ්ඩාගාරය මත යැපෙන ආයතනයක් බැවින් කළමනාකරණාකරණ සේවා දෙපාර්තමේන්තුව හෝ වෙනයම් අයුරින් යම් රාමුවක් තුළ පාලනයකට යටත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එසේම බදවා ගැනීමේ පටිපාටියක්‍ (SOR) මේ වන නොමැති බැවින් මාස තුනක් තුළ ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දුන්නේය.

ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර තිබුණද එය අයවැයට සමගාමීව පිළියෙල කර නොතිබීම

2023 වසර සදහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර තිබුණද එය අයවැයට සමගාමීව පිළියෙල කර නොතිබීම පිළිබද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව රජය විසින් අනුමත කර ඇති මුදලට පමණක් සැලැසුම් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.

අභ්‍යන්තර විගණනයේ ගැටලු

සමාගමේ අභ්‍යන්තර විගණනය නිසි පරිදි සිදු නොවීම පිළිබදව ද සාකච්ඡා විය. අභ්‍යන්තර විගණක අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩුව පවතින බැවින් ඒ සදහා කඩිනමින් මැදිහත්වන ලෙස දැනුම් දුන්නේය.

මේවන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඩිජිටල්කරණය පිළිබද පනතක් ගෙන ඒමට නියමිත බවත් ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් සකස්කරමින් පවතින බවත් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පැවසීය. ඒ අනුව ICTA ආයතනය වෙනුවට වෙනත් ආයතනයක් පිහිටුවීමේ හැකියාව පිළිබදව ඉදිරියේදී අවධානය යොමුකළ හැකි බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ආයතනයේ පරිපාලන කටයුතුවල විධිමත් බවක් නොමැති බැවින් වහාම නිවැරදී මාවතට ගැනීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

නැවත ICTA ආයතන 2023 දෙසැම්බර් මස 7 වැනිදා කැඳවීමටත් මෙහිදී තීරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?