මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකුට ත්රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි ජාවාරම්කරුවන් පිරිසකගේ පහරදී ඇත. සැරයන්වරයා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇතිබව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර කොට්ඨාස බුද්ධි අංශයට අයත්ව රාජකාරි නියුතු පොලිස් සැරයන්වරයෙකි.
පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමට අදාල සැරයන්රයා එහි ගොස් ඇති අතර අදාල තොරතුරු ලබාගෙන ගාලුපාර දෙසට එමින් සිටියදී පහරකැමට ලක්ව ඇතැයි සදහන් වේ. ත්රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි කාන්තාවන් තිදෙනකු ඇතුළු දස දෙනකුට ආසන්න පිරිසක් ඔහු වටකර පොලු මුගුරු වලින් පහරදී ඇතැයිද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් කොට්ඨාසයේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති .