පරිසර සංවේදී කලාපයක් වෙන මුතුරාජවෙල වගුරු බිමෙහි පර්චසයක් රු.500 බැගින් සමාගමකට විකිණීමට කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මග හැර තිබෙනවා.
එසේ මඟ හැර තිබෙන්නේ ගම්පහ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්.
නිලධාරීන් මග හැරීම
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට එම නිලධාරීන්ට එම කමිටුව හමුවට පැමිණෙන ලෙස දන්වා තිබුණත් ඔවුන් එය මඟ හැර තිබුණා.
මේ සම්බන්ධයෙන් කෝපා සභාව විසින් ගොවි ජන දෙපාර්තමේන්තුවට සිය අප්‍රසාදයද පළකර තිබෙනවා.
විනය පරීක්ෂණ නැහැ
එම නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් කර නොතිබීම පිළිබඳවද කෝපා කමිටුව සිය විමතියද පළකර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෝපා කමිටුව මේ වන විට මුතුරාජවෙල වගුරු බිම සම්බන්ධයෙන් කටයුතු කරන පරිසර අමාත්‍යාංශයට හා ආයතනවලට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ පරිසර සංවේදී මුතුරාජවෙල භූමියට කිසිවෙකුටත් අනවසරයෙන් ඇතුල්වීමට ඉඩ නොදිය යුතු බවට හා එහි කිසිවකුටත් ගොඩ කිරීම් කිරීමට ඉඩ නොදෙන ලෙසට වග බලා ගත යුතු බවටයි.













