AFC Banner
Empty Ad
Empty Ad

ලොවෙන් තුරන් කළ ඉතාමත් බිහිසුණු මාරක වෛරසයක් නැවතත් හමුවෙයි

වසූරිය වයිරසයේ විෂබීජ අඩංගු වයිරස කුප්පි 15 ක් ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ මොන්ටිගොමරි ප්‍රාන්තයේ ඖෂධ සමාගමකින් හමුවීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. වසූරිය යනු එන්නත්කරණය මගින් ලොවෙන් තුරන් කළ ඉතාමත් බිහිසුණු මාරක වයිරසයකි.

‘වසූරිය’ (Smallpox) වයිරසය හැඳින්වෙන්නේ ‘වැරියෝලා’ යනුවෙනි. ලොවෙන් මුළුමනින්ම තුරන් කර දැමීමෙන් පසු වසූරිය වයිරස සම්පල ඇත්තේ ලෝකයේ ස්ථාන දෙකක පමණි. වයිරස සාම්පල ඇති එක් ස්ථානයක් වන්නේ, ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතන මූලස්ථානයයි. අනෙක් ස්ථානය, රුසියාවේ කේල්ට්ස්වෝ හි ‘වෙක්තෝර්’ අධි ආරක්ෂිත පර්යේෂණාගාරයයි.

මෙම ස්ථාන දෙක හැර ලොව වෙනත් කිසිදු ස්ථානයක ‘වසූරිය’ වයිරස සාම්පල නොමැති බව පැවැසෙයි. මොන්ටිගොමරි ප්‍රාන්තයේ ඖෂධ සමාගමක පර්යේෂණාගාරයකින් වයිරස කුප්පි හමුවීම ආන්දෝලනයක් ඇති කළේ මේ නිසාය. එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකානු මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

1900 දශකයේ ‘වසූරිය’ ලෝක ජනගහනයෙන් මිලියන 30 ක් බිලිගත්තේය. මානව වර්ගයාට හදි කළ බිහිසුණුම වයිරසය ලෙස වසූරිය අවිවාදයෙන් සැලකිය හැකිය. සාර්ථකව එන්නතක් සොයා ගනිමින් වසූරිය මුළුමනින්ම ලොවෙන් තුරන් කිරීමට සමත් වීම මානව වර්ගයා ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව පැවැසෙයි.

‘වසූරිය’ (Smallpox) යන ලේබලය සහිත කුප්පි 5 ක් ද ‘වැරියෝලා’ යන නම සඳහන් කුප්පි 10 ක් ද මොන්ටිගොමරි ප්‍රාන්තයේ එම පර්යේෂණාගාරයේ අධි ශීතකරණ කුටියේ තිබී හමුවී ඇත්තේ පර්යේෂණාගාරයේ සේවකයකුටය. එම සේවකයා වයිරස කුප්පි සොයා ගන්නා අවස්ථාවේදී මුළු සිරුරම වැසෙන ලෙස ආරක්ෂිත ඇඳුමින් සැරසී සිටි බව පැවැසෙයි. ඊට අමතරව, පර්යේෂණාගාරයේ ‘වසූරිය’ වයිරස කාන්දුවක් සිදුවී නොමැති බවත් එෆ්.බී.අයි. කාර්යාංශය තහවුරු කර ඇත.

වයිරස සාම්පල අඩංගු කුප්පි හමුවී ඇත්තේ ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සම්ගමක් ලෙස සැලකෙන ‘මර්ක්’ ඖෂධ සමාගමට අයත් ඖෂධ පර්යේෂණාගාරයකිනි. ‘මර්ක්’ සමාගෙම් ප්‍රධානීන්ගෙන් ද මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් පවතින බව ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබේ.

(ඩේලිමේල්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?