වස් කවිය සිද්ධිය ගැන අසත්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් CCIBයෙන් විමර්ශනයක්

දෙමටගොඩ පොලිස් ස්ථානය අපකීර්තියට පත්වන ආකාරයෙන් සහ අසත්‍ය තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරන ලද වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය (CCIB) විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙනවා.

පසුගිය ඔක්තෝබර් 22 වන දින හෝ ඒ ආසන්න දිනයකදී “වස් කවියක් ලියූ” බවට සැකපිට තරුණයෙකු දෙමටගොඩ පොලිස් ස්ථානයට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කරගත් බවට පවසමින් මෙම අසත්‍ය වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි එම කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය, අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රචාරණ කටයුතු සිදුකළ නීතිඥ සුදත් වික්‍රමරත්නව අද දින (26) එම කාර්යංශය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.