එය අසාමාන්‍ය දෑ සිදුවෙමින් පැවැති කාලයකි. 1987 වර්ෂයේ කාක පුරවරයට තවත් එක් දිනයක් උදාවී තිබිණි. ක්ලබ්වාසලට හඳ එළියද වැටී තිබිණි. ඇතුළත සැණකෙළි, නැටුම්, පිනවීම්ය. ක්ලැරන්සියානු පොප් සංගීතයට අනුගතව එය සිදුවූ අතර විටින් විට සිල්වියානු සංගීතයද ඇසිණි. ඇස්වාට්ටු චතුරස්‍රයෙන් අන්තිම අඩියද ගැසූ චමින්ද ප්‍රභාත් පෙරේරා බොරැල්ල දාස බිල්ඩින් පල්ලේ වත්තට පැමිණෙමින් තිබිණි. දාස බිල්ඩිම පල්ලේ වත්තේ වැසියන් මවිතයට පත් කරමින් චමින්ද, නාරාහේන්පිට ආරියවතීට ආදරය කරන්න ගත්තේද මේ සමයේදීය.
ආදරය ඉදිරියේ උපන් උණ්ඩිය දුරුවන්නා සේ චමින්ද මේ දැන් අළුගසා නැඟිට ගනී යන්න වත්තේ සියල්ලන්ගේම අපේක්‍ෂාවය. ආරියවතී චමින්ද වෙත රැගෙන ආවේ ආදරය, කරුණාව සහ දයාවය. මවක මෙන් ඔවදන් චමින්දට ලබාදුන් ආරික්කා පෙම් කරන විට ගිනි කිරිල්ලියකි. තරුණ තරුණියගේ හාදකම් එකලදී මෙකල මෙන් නොවීය. ඒවා බොහෝ විට ප්‍රිය සාදයන්ය. රාත්‍රියට ප්‍රිය සාද නොවරදින්නේය. එම ප්‍රිය සාදවලින් එළියට පැමිණෙන්නේ රෑ සාදයට ඇතුළු වූ යුවළ නම් නොවේ. ඒ හින්දා චමින්දට ආරික්කා පොතේ පතේ නම් ලියා තමන් සතුකර ගන්න නොවුවමනාය. නාරාහේන්පිට පැත්තෙන් පොඩි පොඩි සද්ද බද්ද ඇහෙන්න ගත්තද චමින්ද ඒවාට පිළිවදන් ගොනු කළේ “අඩේ… බොරැල්ලට එනවා බොරු” කියමිනි. මහ ඉස්පිරිතාලයට, ඊට කලින් රිජ්වේ ළමා රෝහලට යන්න තියෙනවා කියමින් නාරාහේන්පිට ආරික්කාගේ සනුහරය ඇස්කන් පියාගෙන සිටි විත්තිය චමින්ද දැන සිටියත් ඔහු සැබැවින්ම පිවිතුරු පෙම්වතෙක් සේ ආරික්කාට ආදරය පුද කළේය. ආරික්කා එක්කලා දාස බිල්ඩිම පහළ වත්තට පැමිණියේ ඇයගේ කුඩා කල සතුටය. ඒ සතුටේ නම “පොඩි නෝනා”ය. ආරික්කා නාරාහේන්පිට සිට සිලි සිලි බෑගයක සාරි කෑලි දෙකතුනක් දාගෙන බොරැල්ලට දෙපයින්ම පැමිණෙන විට ඇය හා පැමිණියේ සිවුපාදයෙකි. “ආ… ආරි අපි කොහොම හරි ජීවිතේ පටන් ගමු බං… කොරේ පිටට මරේ කියන්නා වගේ ඇයි මේ සතාවත් කුදලාගෙන ආවේ” එයට පිළිවදන් ගොනුකොළ ආරික්කා පවසා සිටියේ “ඒ මගේ සතුට නොවැ…” කියාය. තම ප්‍රියම්බිකාවගේ සතුට ඉදිරියේ දැන් ඉතින් වෙන කුමක් කරන්නද සිතූ චමින්ද ලෑලි කාමරයේ කබල් පුටුවක් පොඩි නෝනාට ලක ලෑස්ති කර දුන්නා කියමුකෝ. රති කෙළි, ප්‍රේමාලිංගන, ආදරය, අවටියෙල් වැඩ දිහා බලාගත් වන සිටි පොඩි නෝනා වර්ෂ 2021 වන විට චමින්ද – ආරික්කා ආදර අන්දරය මැද්දට තම පරම්පරාවේ 19 දෙනකු පැමිණේවි යැයි හිතන්නටත් නැතුවා ඇති.
ප්‍රිය මිත්‍රවරුනි, එය සිදුව තිබේ.
අද වන විට
චමින්ද = බොරැල්ලේ බල්ලෝ හදන වෘත්තියෙන් නම් දරාපු සපතේරුවෙකි.
ආරික්කා = නිනව්වක් නොමැතිව මහමඟ ඇවිද ගොස් හවස් වරුව වන විට බොරැල්ල උමං මාර්ගය අසලට පැමිණෙන ගැහැනු මනුස්සයෙකි.
බොරැල්ල උමං මාර්ගය දෙදෙනාටම ගෘහයක් වී ඇත. තාර පාර කැණිමඬලය. මේ කුටුම්භයේ වත්මන් සාමාජිකයන් වන්නේ බිනුම් ශූර “ජපනා” නකුටට වඩා අවයව නැති “සුදු කික්කී” ඇල්ලුවොත් ඇල්ලුවා “කළුවා” ළඟින් ගියොත් බිරුම් “කළු කික්කී”, අහිංසක “පොඩි කික්කී”, පට්ට ලව්එක “ලව්එක” (ආරික්කා බලු රෑන අතරින් වඩාත් ප්‍රිය කරන්නේ ලව් එකටය.) වැනි සුනඛ පිරිවරය. ඔවුන් පිරිවරාගෙන චමින්ද, ආරික්කා ගෙවා දමන්නේ ඔවුන්ට අනුව ආතල් ලයිෆ් එකකි. 1976.12.05 වෝඩ් ප්ලේස්, බොරැල්ල ඉපදී ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් අකුරු කියපු චමින්දත්, දිනයක් වකවානුවක් නොමැතිව නාරාහේන්පිට ඉපදී අකුරු නොකියවපු ආරික්කාත් තම ජීවිත කිරා මැන නොබලන්නේ තවත් කෙනකු සමඟ ජීවිත තරාදියට ගොඩවන්නට ඇත්තටම අකැමැති නිසාය. සමාජය කියන කරන දෑ ඔවුන් පයිසයකටවත් නොගනී. චමින්දගේ ක්‍රියාකාරකම් නොඉවසපු ඔහුගේ පියා තමන්ගේ ලොකු අක්කාගේ පුතාට බොරැල්ල හන්දියේ සුදු පිරියම් කළ නිවෙස ලියාදුන් බව දැනගත් විගස චමින්ද සිදුකළේ මොරටුවෙන් පිට ලෑලි ලෑන්ඩ්මාස්ටරයක් ගෙනත් ලෑලි කාමරයක් අටවා ගැනීමය. යූ.ඩී. එක දෙතුන් වතාවක් ඒ ලෑලි කාමරය බිමට සමතලා කර දැම්මද චමින්ද ඒ වගක් තම කර මත තබාගත්තේ නැත. මියගිය ඊයේ සොයා දෑතේ දසැඟිලි දික්කර වැඩක් නොමැති බව ඔහු දැනකියා ගත්තේ ගෙන්දගම් පොළොව බරට පාගාය.
“ලොක්කා! බල්ලෝ එක්කයි ආරි එක්කයි විතරයි මම ජීවත් වෙන්නේ. හොයන හැම සතයම 21 දෙනාට කන්න බොන්නයි මගෙයි, ආරිගෙයි ආතල්වලට තමයි. එකවුන්ට්, කේරඩිට්කාඩ්, බෑන්ක් ලෝන් නැහැ. කරපු කියපු දේවල්, ෆේස්බුක් ඉන්ස්ට්‍රග්‍රෑම් දාන්නෙත් නෑ. මගෙ ජීවිතෙන් අවුරුදු 40ක් ගෙවුණේ මේ සෙට්එක එක්ක. ජීවිතේ ආතල්. මම සපත්තු මැහැව්වා. (එක පිට පැමිණි නිරෝධායන ඇඳිරියෙන් එපිට කාලය) ඒ කාලේ දවස ජීවත් වෙන්න ගාන හොයනවා. හොඳට කනවා. සත්තුන්ටත් දෙනවා. ආරිටත් සලකනවා. ආරි හොඳ ගෑනි. එයා තමයි දැන් මාව බලාගන්නේ. සපත්තු හදන්න දැන් කවුරුත් එන්නේ නැහැ. ලොක්කා… ඔහේ ආවේ අපි ගැන අහන්න නෙවෙයිනේ. සත්තු ගැන බලන්නනේ. මම දැන් සත්තු ගැන කියන්නම්. දැන් කවුරු හරි මට පොඩි පාට් එකක් දැම්මා කියමුකෝ. මුලින්ම ෆෝම් වෙන්නේ සුදු කික්කී. ලව්එක. ඒ එක්කම සෙට් එකටම සීන් එක අරගෙන යනවා මට රොබරියක් කියලා. විසිරිලා ඉන්න කට්ටිය සීන් එකට එන්ටර්. හතර පස්දෙනෙක් ආවත් අරින්නේ නැහැ. මම හරි ආරි හරි තමයි එයාලව කූල් ඩවුන් කරන්න ඕනෑ. ලොක්කා මම වත්තේ හොඳ ගේක ඉඳලා පාරට වැටුණු මනුස්සයා. අපේ පවුල හොඳ වැදගත් පවුලක්. ආරිගෙත් එහෙමයි. අපේම නොසණ්ඩාලකම් හින්දයි අද මෙතැන ඉන්නේ. කාටවත් බැනලා වැඩක් නැහැ. අදටත් මේ වත්ත වටේ ඉන්නේ මගේ ඥාති. කතාව මේකයි. මට අද සතේ නැහැ. අද කෝටියක් තියෙන මනුස්සයා හෙට පාරට වැටුණා කියමු. එයාටත් බලු බල්ලෙක් නැහැ. අඩුම ගානේ ගෑනිවත් නැහැ. ඒත් අද මට බල්ලො 19ක් එක්ක ආරි ඉන්නවා. නිකම් නෙවේ ලොක්කා ආදරෙත් එක්ක. මම පයින් ගියොත් මේ 19 ගැන්සියම මගේ පිටිපස්සේ. වැදගත් විදිහට එන්නේ. සද්ද බද්ද නැහැ. හැබැයි එයාලා මිනිස්සු ගැන මාර මීටර්. කොළඹ පැටව්නේ. මම ජීවිතේ අල්ලගෙන ඉන්නේ ආරියි, මේ සත්තු ටිකයි හින්දා. අපි ජීවත් වෙන්නේ උමඟ යට. හොඳට ඇඳලා, පැලඳලා කාරිය වාහනවල යන මිනිසුන්ගේ ජීවිත ජෝක් එකක්. අපි දෙන්නා ඒ දිහා බලාගෙන හිනාවෙනවා. ආරි හොඳ ලස්සන කතා කියන ගෑනි. හැබැයි සතෙක්ට කවුරු හරි බලු වැඩක් කළොත් ගිය ආත්මේ කතාත් ඇදලා ගන්න ආරි දෙපාරක් හිතන්නේ නැහැ. මම සපත්තු මහන කාලේ පොඩි බෝඩ් එකක් ගැහැව්වා උමඟ ගාව. “හැදුණු බල්ලෝ මම වඩලා ගන්නම්, පාරට දාන්න එපා මට ගෙනත් දෙන්න.” එහෙම තමයි බෝඩ් එකේ ලිව්වේ. හොඳ වැදගත් නෝනලා ලස්සන බෑග්වල දාගෙන හොරෙන්ම මට බලු පැටව් ගෙනත් දීලා තියෙනවා. ඒ අයත් අද මේ 19 දෙනා එක්ක.”
ප්‍රිය මිත්‍රවරුනි,
චමින්ද, ආරික්කා අතහැර දමලා අපි සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ගැන කතා කරමු. ඒක තමයි මේ දෙමහල්ලෝ විඳගන්න තියෙන හොඳම විදිහ. මිනිස්සු පැය 8ක් 9ක් වැඩ කරන්නේ මොන තරම් ශික්‍ෂණයකින්ද? අනෙක් අතට ඒකාකාරී වැඩමුරවල ඒ පැය 8 – 9 අල්ලලා දැම්මාට පස්සේ දවසේ විඩාව පොඩි අඩියක දිය කරලා දාන්න, කාලය කූඹින්ට කන්න දෙන්න, බකන් නිලාගෙන බලන් ඉන්න මිනිස්සු කැමැතියිනේ. ඇයි මිනිස්සු එහෙම කරන්නේ. ඒක තමයි ගෙවා දමන ජීවිතයේ ඒකාකාරී බවට මිනිසුන්ගේ රිඇක්ෂන් එක. මිනිස්සුන්ට අභිමතයක් නැහැ. තියෙන්නේ අධිකාරි බලයක් යටතේ පාලනය වීමක්. අධිකාරි බලය හිමිකර දුන්න ඒකාකාරී ජීවිතය මිනිසුන්ගේ පුද්ගල නිදහස කප්පාදු කරලා. මිනිස්සු කොයි තරම් ශික්‍ෂිතයි කිව්වත් ශික්‍ෂණය මිනිස්සු මෙහෙම කරද්දී අතහැරලා දානවා. අන්න ජීවිතය අවුල් වන තැන. චමින්දයි – ආරික්කායි ඔය ඒකාකාරී ශික්‍ෂණයෙන් පිට පැනලා දැන් ගොඩක් කල්. එයාලා කියන විදිහට එයාලා ජීවිතය මාර විදිහට විඳිනවා. සතුට නැතිව ජැන්ඩියට ඇඳලා කාරිය පාරේ යන මළ මිනිස්සු දිහා බලාගෙන මාරම ආතල් එකක් ගන්නවා. හැබැයි මේ හැමදේම වෙන්නේ චමින්දගෙයි – ආරික්කාගෙයි නිතර දෙවේලේ පත්තු වන පෙම් පහන නිසා. රියෝ, රිට්ස් ෆිල්ම් හෝල්වල බැල්කනි මේ දෙන්නට බොරැල්ලෙ ලෑලි මාලිගාව වගෙයි. මේ දෙන්නා ආදරය ලබා ගැනීමේ බලවත් පිපාසයකිනුයි පසුවෙන්නේ. ඒකට සමාර්ථයක් එක්කාසු කරන්නේ 19 දෙනා අතරේ ඉන්න “ලව් එක” වගේ සතෙක්. ඇත්තටම ලව් එක මේ දෙන්නට පට්ට ලව්. තමන්ගේ ස්වාමියයි, ස්වාමි දුවයි ආදරය කරද්දී සුනඛ සතෙක් වුණත් ඒ මඟ හැර අන් මඟක යයියැ:
ආරික්කා චමින්දයි 19 දෙනාගේ ගැන්සියයි ගැන හිතන්නේ මෙහෙම.
“අපි ඉතින් හොඳින් ඉන්නවා. දැන් ඩිංගකට කලින් බත් හම්බ වුණා. මේ අමාරු දවස්වල සත්තුන්ට ගොඩක් උදවු කරන්නේ කොළඹ නෝනලා. රෝසි නෝනාගේ නංගි තමයි ඉරිදට. එතකොට වෝඩ් ප්ලේස් එකේ සැර නෝනා සෙනසුරාදාට, බදාදාට කුරුඳුවත්තේ මහත නෝනා. සිකුරාදාට ඔළුව වහගෙන දෙමළ කතා කරන උස නෝනා. (ඇය මුස්ලිම් ජාතික කාන්තාවක් විය හැකිය.) රෑ දහය පහුවුණු ගමන් ලොකු ලොකු හෝටල්වල ඉතුරුවෙන කෑම අරගෙන පුංචි සුරංගනාවියෝ රොත්තක් උමඟ ගාව. මේ අය බඩගින්නේ ඉන්නෙම නැහැ. එහෙම ඉන්න අපි දෙන්නා ඉඩ දෙන්නෙත් නැහැ. චමින්දට මේ කොරෝනා කෙළිය හින්දා රස්සාවක් කරන්න බැහැ. මම තමයි දැන් කීයක් හරි හොයන්නේ. කඩවලින් එළියට දාන කෑම කන්න පුළුවන් වුණත් ඒකට හිත දෙන්නේ නෑ. මේ 19 දෙනා හොඳින් ජීවත් වන්නේ තාමත් මේ කොළඹ හිත උණුවන මිනිස්සු ඉන්න හින්දා. චමින්දත් හොඳ මනුස්සයා පුතා. අපේ සත්තු බුරනවා කියලා, හපන්න පනිනවා කියලා බොරු පැමිණිලි යමරෙට පොලිසියට යනවා. යූ.ඩී. එකටත් යනවා. පොලිසියේ ලොකු මහත්වරු පවා ඇවිල්ලා අපි කරන්නේ මොකක්ද කියලා හොයලා බලනවා. යූ.ඩී. එකත් එහෙමයි. එයාලා දන්නවා අපි කවුද කියලා. ඉස්සර මරියකඩේ කිට්ටුව බලු ආදාහනාගාරයක් තිබුණා අයාලේ යන බල්ලෝ අල්ලලා පුච්චලා දාන. පස්සට පහු බලු වෑන් එක ආවා දැල් ගහලා බල්ලෝ අල්ලන. දැන්නම් එහෙම කරදරයක් නැහැ. ඒ කාලේ බලුවෑන් එක පස්සේ දුවලා මම සත්තු බේරගෙන තියෙනවා. කොහොම වුණත් අපි හදන හැම සතෙක්ගෙම කරට පටියක් දානවා. එතකොට කවුරුත් දන්නවා මේ කවුරු හරි ආදරයෙන් ඇති දැඩි කරන සතෙක් කියලා.”
ප්‍රිය මිත්‍රවරුනි, මේ අසම්මත, ඒ කියන්නේ සමාජ සම්මතයෙන් පිට පිරිමියා සහ ගැහැනියගේ ජීවිත ඉතා හොඳය. නැවුම්ය. මොවුන් යමක් ලබාදෙන්නන් මිස ලබාගන්නන් නොවේ. මේ ටිකත් කිව යුතුමය. ඔවුන්ට සල්ලි කොළ දුන්නොත් ඒ සල්ලි කොළවලින් ජීවිතය විඳිනවා කියමින් විඳවාවි. ඒ මේ ජීවිත දෙකටම සීමාමායිම් නොමැති නිසා. ඒ හින්දම බඩගින්න නිවන දේකින් මිසක්කා අප ඔවුන් සමීපයට නොයමු.