Rajapura Handi Oil
Rajapura Diabetic Powder

FBI සංවේදී ජාතික අපරාධ තොරතුරු දත්ත ගබඩාව හැකර් ප්‍රහාරයකට ලක්වේ

ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) වඩාත්ම සංවේදී ජාතික අපරාධ තොරතුරු දත්ත ගබඩාව (NCIC) වෙත අනවසරයෙන් ඇතුළු වී සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තාවෙනවා.

විදේශ ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මෙම සිදුවීම වක්‍රව තහවුරු කර තිබුණා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, “අපට මේ පිළිබඳව දැනගන්නට ලැබුණා. මම කියන්නේ මෙය කිසිසේත්ම හොඳ දෙයක් නොවන බවයි. මම මෙයට කොහෙත්ම කැමති නැහැ” යනුවෙනි.

එසේ වුවද, මෙම ප්‍රහාරය හරහා මීට පෙර හෙළි නොවූ වැදගත් කරුණු කිහිපයක් දැනගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි පවසමින් ඔහු ඊට වෙනස් මුහුණුවරක් දීමටද උත්සාහ කර තිබුණා.

ඇමරිකාව පුරා විසිරී සිටින නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් අපරාධ වරෙන්තු, පසුබිම් පරීක්ෂාවන් සහ සැකකරුවන්ගේ වාර්තා ක්ෂණිකව පරීක්ෂා කිරීම සඳහා භාවිත කරනු ලබන NCIC පද්ධතියේ ආරක්ෂණ විධිවිධාන මෙලෙස බිඳවැටී ඇති බව පුවත් සේවා තහවුරු කර තිබෙනවා.

මෙය මෙම වසර තුළදී FBI ආයතනය මුහුණ දුන් දෙවන ප්‍රධාන සයිබර් ප්‍රහාරය වන අතර, පසුගිය සතියේදී එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට (USDA) එරෙහිවද මෙවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා.

මීට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේදීද හැකර් කණ්ඩායමක් විසින් FBI ආයතනයේ සේවකයන් 38,000 කගේ පෞද්ගලික සහ සංවේදී තොරතුරු සොරකම් කළ බවට ප්‍රකාශ කර තිබූ අතර, මාර්තු මාසයේදීද අභ්‍යන්තර පරිගණක පද්ධතිවල සැකකටයුතු ක්‍රියාකාරකම් කිහිපයක් නිරීක්ෂණය වුණා.