Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මහාචාර්ය සෝමදේවගේ සොයාගැනීම් සම්බන්ධයෙන් මතුවූ මතභේදය හමුවේ, චෙම්මනි වාර්තාව ගැන අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

චෙම්මණි සමූහ මිනීවළ සම්බන්ධ විමර්ශනවලට අදාළව මතු වී ඇති මතභේදය පිළිබඳව රජය පැහැදිලි කිරීමක් අද (21) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් සිදුකරනු ලැබුවා.

මහාචාර්ය රාජ් සෝමදේව විසින් ඉදිරිපත් කරන ලද අපරාධ විද්‍යාත්මක පුරාවිද්‍යා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මතු වූ අතර, එම වාර්තාවේ අඩංගු සොයාගැනීම් සහ මරණයන්ට හේතු විය හැකි කරුණු පිළිබඳ සඳහන් කිරීම් විවාදයට තුඩු දී තිබුණා.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ, එම වාර්තාව වෛද්‍ය-නීතිමය තක්සේරුවක් නොවන බවත්, දැනට ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාවලිය තුළ වෙනත් අධිකරණ වෛද්‍ය සහ විමර්ශන වාර්තා සමඟ මෙය ද සලකා බලනු ලබන බවයි.

චෙම්මණි සමූහ මිනීවළේ සිදු කළ කැණීම්වල විවිධ අදියරයන් හරහා පුද්ගලයින් 574 දෙනෙකුගේ පමණ අවශේෂ සොයාගෙන ඇති බවත් නානායක්කාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

යාපනය මහේස්ත්‍රාත්වරයා, විවිධ පාර්ශ්වයන් නියෝජනය කරන නීති නියෝජිතයින්, යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා (JMO), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ ඉදිරියේ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් මෙම කැණීම් සිදුකෙරුණු බවයී ඔහු පැවසුවේ.

මෙම ක්‍රියාවලිය නීතිමය සහ අධිකරණ වෛද්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තවදුරටත් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ද, එම කාර්යාලය පිහිටුවීමේ පනතේ 12(d) වගන්තිය යටතේ නිරීක්ෂකයෙකු ලෙස මෙම ක්‍රියාවලියට සක්‍රීයව සම්බන්ධ වී සිටින බවත් පැවසුවා.

මහාචාර්ය සෝමදේවගේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, මහාචාර්ය සෝමදේව අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු නොවන බවත්, ඔහු වෛද්‍ය-නීතිමය වාර්තාවක් නිකුත් කර නොමැති බවත් අමාත්‍යවරයා පැහැදිලි කර සිටියා.

“ඔබේ ප්‍රශ්නයේදී ඔබ ඇසුවා ‘වෛද්‍ය-නීතිමය වාර්තාවක් නිකුත් කිරීමට රාජ් සෝමදේවට වෘත්තීය සුදුසුකම් තිබේද?’ කියා. නැත, ඔහුට එවැනි සුදුසුකම් නොමැති අතර ඔහු කිසි දිනෙක එවැනි වාර්තාවක් නිකුත් කර ද නැත. ඔබම වරදවා වටහාගෙන ඇත්තේ එතැනයි; මම ඔබට පැහැදිලි කරන්නම්. ඔහු කිසි දිනෙක එවැනි වාර්තාවක් නිකුත් කර නැත; ඔහු සතුව ඇත්තේ පුරාවිද්‍යා වාර්තාවක්. මහාචාර්ය රාජ් සෝමදේව විසින් සකස් කර ඉදිරිපත් කරන ලද්දේ අධිකරණ පුරාවිද්‍යා වාර්තාවක්. එනම් මානව අවශේෂ තැන්පත් කර ඇත්තේ කොතැනද, කෙසේද සහ කුමන තත්වයන් යටතේද යන්න පරීක්ෂා කිරීමයි. මෙය වෛද්‍ය-නීතිමය වාර්තාවක් නොවේ. මරණයට හේතුව සහ ස්වභාවය, අධිකරණ ක්‍රියාවලියට අනුකූලව ඉදිරියේදී සිදු කෙරෙන වෛද්‍ය-නීතිමය විමර්ශන හරහා පරීක්ෂා කරනු ලැබේ. යාපනය මහේස්ත්‍රාත්වරයා විසින්, යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) සහ ඔහුගේ කණ්ඩායමට, හමුවූ මානව අවශේෂ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් සකස් කරන ලෙස නියෝග කර තිබෙනවා. මේ වන විට ඊට අදාළ කටයුතු සිදුවෙමින් පවතිනවා. යනුවෙන් බව හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළා.