Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගංවතුරට ගිය බසයේ සිටි 69 දෙනාගේ දිවි සුරැකූ නිලධාරීන්ට ජාත්‍යන්තර පදක්කම්

පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් කලා ඔය ප්‍රදේශයේදී අපදාවට පත් මගී බස් රථයක සිරවී සිටි සිවිල් වැසියන් 69 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාවට හැකියාව ලැබුණා.

එම මෙහෙයුම් සඳහා එක්වූ නාවික හමුදාවේ නිලධාරීන් තිදෙනෙකු වෙත පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක සේවා පදක්කම හා ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක වීර පදක්කම සහ සහතිකපත් පිරිනැමීම, අද දින ( 19) කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිල නිවසේදී සිදු කෙරුණා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworthගේ ප්‍රධානත්වයෙන්, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජකීය ජීවිතාරක්‍ෂක සංගමය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමය එක්ව සංවිධානය කල මෙම උත්සවයේදී, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ සමූහ ප්‍රධාන සුළු නිලධාරී එස්ඒඊඑල් සේනවිරත්න, නායක නැවි බීකේඒ ප්‍රසාද් සහ බල නැවි එස්ටීඩී අබේරත්න යන නාවික හමුදා පුද්ගලයින් වෙත පදක්කම් සහ සහතිකපත්‍ පිරිනමණු ලැබුවා.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ‍ජෙනරාල් රියර් අද්මිරාල් රුවන් රූපසේන, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමයේ සභාපති අතුල සේනාරත්න සහ එහි ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.