Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හූතිවරුන් එල්ල කළ බැලැස්ටික් මිසයිල දෙකක් සවූදිය සාර්ථකව මැඩපවත්වයි

යේමනයේ ඉරාන හිතවාදී හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ අගනුවර වන රියාද් නගරය සහ වැඩිම තෙල් සම්පත් පවතින නැගෙනහිර පළාත ඉලක්ක කරගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා.

එම බැලස්ටික් මිසයිල හා තවත් ඩ්‍රෝන යානා තුනක් සාර්ථකව ගුවනේදීම විනාශ කළ බව සෞදි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව ප්‍රකාශ කරනවා.

යේමනයේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රදේශවල පාලනය සියතට ගෙන සිටින හූති කැරළිකරුවන් පසුගිය දින කිහිපය තුළ සෞදි අගනුවර වෙත එල්ල කරන ප්‍රහාර තියුණු ලෙස ඉහළ නංවා තිබෙනවා.

පසුගිය සතියේදී එල්ල වූ එවැනිම හූති ප්‍රහාරයකින් රියාද් නුවර මූල්‍ය කලාපයේ පිහිටි සෞදි රාජ්‍ය තෙල් දැවැන්ත සමාගමක් වන ‘සෞදි ඇරම්කෝ’ සමාගමට අයත් පරිපාලන ගොඩනැගිල්ලකට ද බරපතළ හානි සිදුවුණා.

සෞදි ආර්ථිකයේ ජීවනාලිය බඳු වන නැගෙනහිර පළාත ද පසුගිය සති කිහිපය පුරා අඛණ්ඩව මෙලෙස ප්‍රහාරයන්ට ලක්වුණා. සෞදි අරාබියේ බොරතෙල් සහ ස්වභාවික වායු සංචිතවලින් වැඩි ප්‍රමාණයක් ස්ථාපිතව ඇත්තේ මෙම කලාපයේ වන අතර, ඉකුත් ඔක්තෝබර් මාසයේදී දරුණු ප්‍රහාරයකට ගොදුරු වූ ඇරම්කෝ මූලස්ථානය පිහිටා ඇත්තේ ද මෙම ප්‍රදේශයේය.

මෑත කාලීනව හූති සටන්කාමීන් සෞදියේ ගුවන් තොටුපළ, වරාය සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර දැඩි කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් සෞදි ප්‍රමුඛ සන්ධානය ද යේමනයේ පිහිටි හූති බලකොටු ඉලක්ක කර ගුවන් ප්‍රහාර දැවැන්ත ලෙස වැඩිකර තිබෙනවා.