Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දකුණු කොරියාවේ විශේෂ නියෝජිතයෙක් සහ පොහොට්ටුවේ පිරිසක් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන මණ්ඩල සාමාජිකයන් වන මිලින්ද රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න ඇතුළු නියෝජිත පිරිසක් දකුණු කොරියානු ජාතික සභාවේ විදේශ කටයුතු හා එක්සත් කිරීමේ කමිටුවේ සභාපති සොං සොක් ජුන් (Song Seok-jun) හමුවී තිබෙනවා.

මෙම හමුවේදී සිරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ විශේෂ පණිවිඩයක්ද සභාපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ තුන්වරක් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ සොං සොක් ජුන්, වසර 25කට ආසන්න කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටි අයෙකි. එරට ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ ප්‍රකාශකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා.

වර්තමානයේ දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු හා එක්සත් කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝග සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ ගැටලු පිළිබඳව කොරියානු සභාපතිවරයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස කටයුතු කළා.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථා පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

මෙහිදී මිලින්ද රාජපක්ෂ මහතා විසින් තම තුන්වැනි කෘතිය වන Poverty to Prosperity – දකුණු කොරියානු සංවර්ධන ආකෘතිය සභාපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

එමෙන්ම දකුණු කොරියාවේ සංවර්ධනයට හිටපු ජනාධිපති පාක් චුන්ග් හී කළ දායකත්වය සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ සංවර්ධන ජයග්‍රහණ පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර දිගුකාලීන සබඳතාව අගය කළ සභාපතිවරයා, කොරියානු කර්මාන්ත සඳහා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් ලබාදීමෙන් දෙරට අතර ඇතිවී තිබෙන සම්බන්ධතාවද සිහිපත් කළා.

ලබන වසරේ පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල සංචාරය කිරීමටත්, ඉන්දියාවේ සංචාරයක් පිළිබඳව සලකා බැලීමටත් තමන් අපේක්ෂා කරන බව සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කළ නියෝජිත පිරිස, කොරියානු ආයෝජකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටද ඉල්ලීමක් කළා.

මෙම අවස්ථාවට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ප්‍රජා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියා.