ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් සැපයීම පිළිබඳව අසර්බයිජානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලිය තවදුරටත් නවීකරණය කිරීම හා කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හා අසර්බයිජානයේ ASAN Service ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය (07) දින අත්සන් තැබුවා.
මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න අත්සන් තැබූ අතර එම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලියට අදාළ ක්ෂේත්රයන්හි රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් සහ සීමාවාසික පුහුණු අවස්ථා සපයා ගැනීම පිළිබඳව විශේෂ අවධානයට ලක් වී තිබුණා.
එහිදී අදාළ ක්ෂේත්රවල ශ්‍රී ලාංකික පුහුණුකරුවන්ට එරට තුළ පුහුණුව ලබාදීමත් එලෙස පුහුණුව ලබන පුහුණුකරුවන් මගින් ශ්‍රී ලංකාව තුළ පුහුණු වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම ගිවිසුමෙන් විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි, ඔරොත්තු දෙන සහ කාර්යක්ෂම රාජ්‍ය ආයතන ගොඩනැඟීම අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය පාලන නවෝත්පාදන සමුළුව (UN Governance Innovation Summit) පසුගිය 05 හා 06 යන දෙදින තුළ අසර්බයිජානයේ බාකු නුවර Gulustan Palace හිදී පැවැත්වුණු අතර ඊට සමගාමීව මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
මෙම ගිවිසුම හරහා ඉදිරි වසර 03 ඇතුළත ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්රයේ සහ මහජන සේවා සැපයුම් යාන්ත්‍රණය නවීකරණයට ලක් කිරීම කෙරෙහි විශාල පරිවර්තනයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
“අනාගතයට සූදානම් ආයතන ඉදිරියට ගෙන යාම” (Advancing Future-Ready Institutions) යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව, 2030 තිරසර සංවර්ධන අරමුණු (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය පාලනයේ නව ප්රවේශයන් සහ නවෝත්පාදන හඳුන්වාදීමේ ජාත්‍යන්තර වේදිකාවක් බවට සඳහන් වෙනවා.
මෙම සමුළුවේ දෙවැනි සැසිවරයේ තුළ පැවැති මණ්ඩල සාකච්ඡාවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමේ, ඩිජිටල්කරණය කිරීමේ සහ මහජන විශ්වාසය ශක්තිමත් කිරීමේ වැදගත්කම විශේෂයෙන් අවධාරණය කළා.
එමෙන් ම, ග්‍රාමීය ජනතාව ඇතුළු සමාජයේ සියලු ම ජන කොටස්වලටත්, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලටත් රාජ්‍ය සේවාවන් පහසුවෙන්, සරලව හා කාර්යක්ෂමව ලබා ගත හැකි පරිදි රාජ්‍ය සේවා පද්ධතිය සකස් විය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව (UN DESA) සහ අසර්බයිජාන් ජනරජයේ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන මහජන සේවා සහ සමාජ නවෝත්පාදන පිළිබඳ රාජ්‍ය ආයතනය (ASAN Service) එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබුණා.
සාම්ප්‍රදායික සම්මන්ත්‍රණයකට සීමා නොවී, ප්‍රායෝගික ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්තිමය කැපවීම් කෙරෙහි අවධානය යොමු කරන මෙම සමුළුවේදී රාජ්‍ය පරිපාලනයේ නවෝත්පාදන, ඩිජිටල් පරිවර්තනය, රාජ්‍ය අංශය නවීකරණය කිරීම සහ මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව හා ප්රවේශවීමේ හැකියාව වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණා.
මෙම සමුළුව සඳහා රටවල් 100කට අධික සංඛ්‍යාවක අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර හා කලාපීය සංවිධානවල නියෝජිතයන්, සංවර්ධන හවුල්කරුවන් මෙන්ම පෞද්ගලික අංශයේ සහ ශාස්ත්‍රීය ක්ෂේත්රයේ නියෝජිතයෝ ද සහභාගිවුණා.
