ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව විමර්ශන අවසානයේ දී තීරණයක් ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි.
ගම්පහ ඔස්මන් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මෙම දැනුම්දීම සිදු කළා.
මහේන් ගොපල්ලව සහ අන්නලිංගම් ප්‍රේම්ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද (10) කැඳවනු ලැබුවා.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යපාරිකයෙකු වන ‘ගම්පහ ඔස්මන්’ හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත්‍රයා විසින් ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය පසුගිය දා නියෝග කළා.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය බාල පටබැඳීගේ යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කරනු ලැබුවා.
ඉන් අනතුරුව නඩුව කැදවනු ලැබු අවස්ථාවේ දී අද (10) මෙම දැනුම්දීම නීතිපතිවරයා සිදුකළා.
ගම්පහ, ඉබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ෂෙහාන් ගුණසේකර විසින් ගොනුකොට තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
නීතිඥ අමිල කුමාර මාර්ගයෙන් ගොනුකොට ඇති පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ තමන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු බවත් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ පියා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කෙරෙන බවයි.
පසුගිය මැයි 13 වනදා දින තම පියාගේ නිවස සෝදිසි කොට ගිනිඅවි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවිවලට නීතියානුකූල බලපත්‍ර තිබූ බව පෙන්වා දුන් පෙත්සම්කරු එහෙත් නීතිවිරෝධිව අවි තබාගත් බවට මාධ්‍ය මගින් වැරදි ප්‍රචාරයක් ගෙන ගිය බවත් කියා සිටියා.
කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස තමන්ට ද දැනුම් දීමක් සිදු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු තමා අවස්ථා කිහිපයකදීම එම කොට්ඨාශයට ගොස් ප්‍රකාශ ලබාදුන් බව කියා සිටියා.
එහිදී කෙහෙල්බද්දර පද්මේ තායිලන්තයේ සිටියදී ඔහු හා සම්බන්ධතා පවත්වා තිබේදැයි ප්‍රශ්න කළ බවත් තර්ජනාත්ම ස්වරූපයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ බවත් පෙත්සම්කරු පවසනවා.
මෙම තත්ත්වය යටතේ තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් රැඳවුම් නියෝග අවසන් කරමින් ඔස්මන් ගුණසේකර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ (09) ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එලෙස සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ දින 180ක් රදවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
