පාකිස්ථානයේ තණකොළ සහිත තණතීරු මත දස්කම් දැක්වීමට තම කණ්ඩායමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් විශ්වාසය පළ කරනවා.
හෙට (09) ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ගේ අත්දැකීම් සහ කණ්ඩායමේ සමබරතාව තීරණාත්මක සාධක වනු ඇති බවයි මෙන්ඩිස් පවසන්නේ.
පාකිස්ථානය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර අද (08) රාවල්පිණ්ඩි හිදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙන්ඩිස් මේ බව සඳහන් කළා.
වේග පන්දු යවන්නන්ට වාසිදායක තණතීරු බලාපොරොත්තු වුවද, එවැනි අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකා පිතිකරණ පෙළ හොඳින් සූදානම්ව සිටින බවයි ඔහු පවසන්නේ.
දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සතු අත්දැකීම් පෙන්වා දුන් මෙන්ඩිස්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව පිළිබඳව තමන්ට කිසිදු සැකයක් නොමැති බවයි පැවසුවේ.
ශ්‍රී ලංකා පිතිකරුවන් තණකොළ සහිත තණතීරු මත ක්‍රීඩා කිරීමට හුරුපුරුදු බවත්, මීට පෙර එංගලන්තයේදී ද එවැනිම තත්ත්වයන් යටතේ ඔවුන් හොදින් දස්කම් දක්වා ඇති බවත් ඔහු මෙහිදී සිහිපත් කළා.
ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සූදානම් වන මෙන්ඩිස්, ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම ආකෘතිය වන ටෙස්ට් තරගවලදී කණ්ඩායම මෙහෙයවීම එක්දින සහ විස්සයි විස්ස තරගවලට වඩා වෙනස් අභියෝගයක් වනු ඇති බව පැවසුවා.
කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා, ක්‍රීඩකයින් මාසයකට වැඩි කාලයක් තිස්සේ පාකිස්ථානයේ රැඳී සිටින බව සඳහන් කළා.
හෝටල් සහ පුහුණු මධ්‍යස්ථානවලට පමණක් සීමා වී දීර්ඝ කාලයක් ගත කිරීම අභියෝගාත්මක වූ බව පිළිගත් ඔහු, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ පුද්ගලික සූදානම හරහා ක්‍රීඩකයින් ධනාත්මක වාතාවරණයක් පවත්වා ගත් බවත් පවසා සිටියා.
මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව විශේෂ සැලසුම් සකස් කර ඇති බවත්, පවතින තත්ත්වයන්ට අනුව හැඩගැසීම ඉතා වැදගත් බවත් මෙන්ඩිස් අවධාරණය කළා.










