හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී පාකිස්තානයට පැමිණෙමින් තිබූ LNG නෞකාවකට ප්‍රහාරයක්

කටාර් රාජ්‍යයේ සිට ද්‍රව ස්වාභාවික වායු රැගෙන පාකිස්තානය බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවකට හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම නෞකාවට ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබාගැනීම සඳහා පාකිස්තානය ඉරාන බලධාරීන් සමඟ සාකච්ඡා කර තිබූ බවයි සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මාෂල් දූපත් ධජය යටතේ යාත්‍රා කළ අල් මයීඩා නෞකාවට ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ඉරානයෙන් ඊට අවසරය ලැබී පැය කිහිපයකට පසුව බව ද වාර්තා වනවා.

ප්‍රහාරයෙන් පසු නෞකාව සිය ගමන් මාර්ගය වෙනස් කර පර්සියානු බොක්ක දෙසට යාත්‍රා කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ ප්‍රක්ෂේපණයකින් බව ඉන්දීය නාවික කටයුතු අමාත්‍ය සර්බානන්ද සොනොවාල් ප්‍රකාශ කර තිබෙනවා.

නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනාම ආරක්ෂිත බවත්, ඒ අතර ඉන්දීය ජාතිකයන් හය දෙනෙකු සිටින බවත් ඔහු සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කටාර් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති අතර, සිය නෞකා සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර නීතියට අනුව අවශ්‍ය සියලු පියවර ගැනීමේ අයිතිය කටාර් රාජ්‍යය සතු බව ද අවධාරණය කර තිබෙනවා.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා ගමනාගමනයට පවතින අවදානම මෙම සිද්ධියෙන් යළිත් තහවුරු වන අතර, මැදපෙරදිග අර්බුද හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ බලශක්ති හිඟයකට මුහුණ දී සිටින පාකිස්තානයට ද මෙය නව අභියෝගයක් වී තිබෙනවා.

මෙම LNG තොගය නොලැබුණහොත්, යුද්ධයට පෙර පැවති මිල මට්ටමට වඩා තුන් ගුණයකටත් අධික මිලකට පවතින ක්ෂණික වෙළෙඳපොළෙන් ගෑස් මිලදී ගැනීමට පාකිස්තානයට සිදුවිය හැකි බව ද වාර්තා වනවා.
.
මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන LNG ප්‍රවාහනය ඔක්තෝබර් මාසයේදී ද යුද්ධයට පෙර පැවති මට්ටමෙන් සියයට 30ක් පමණ දක්වා සීමා වී තිබෙනවා.