කඩවත පොලිස් වෙඩිල්ල; බාලවයස්කරුවාට ත්‍රිරෝද රථය දුන් පුද්ගලයාට නීතිය දැඩිව

පොලිස් අණ නොතකා ධාවන කළ ත්‍රිරෝද රථයකට ඊයේ (31) පස්වරුවේ පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් වයස අවුරුදු 16ක ළමයෙක් තුවාල ලබා රෝහල් ගත කළා.

කඩවත පොලිස් වසමේ මහකඩේ හන්දිය ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර, එම අවස්ථාවේ වයස අවුරුදු 17 සහ 16 යන වයස්වල පසුවන බාලවයස්කරුවන් දෙදෙනෙක් එම ත්‍රිරෝද රථයේ ගමන්කරමින් සිට තිබෙනවා.

පොලිසිය පවසන්නේ බාලවයස්කරුවෙකුට මෙම ත්‍රිරෝද ලබාදුන් පුද්ගලයාට එරෙහිව මෝටර් රථ වාහන පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ත්‍රිරෝද ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියෙන් අනතුරුව ත්‍රිරෝද රථය පැදවූ බව කියන වයස අවුරුදු 17ක බාලවයස්කරුවා කඩවත පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

කඩවත පොලිස් වසමේ මහකඩේ හන්දිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී ත්‍රිරෝද රථයක් නැවත්වීමට පොලිස් නිලධාරීන් අණකර ඇති අතර, එම අවස්ථාවේ දී පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය ධාවනය කර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, වෙඩි ප්‍රහාට එල්ල වුවද රථය නොනවත්වා නිවස වෙත ධාවනය කර ඇති බවයි අනාවරණය වුණේ.

ත්‍රීරෝද රථය ගෝනහේන ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී පොලිස් භාරයට ගෙන මේ වනවිට කඩවත පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.