රජය නීතිරීති මඟින් රාජ්‍ය භීෂණය හා ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමට හදනවා – විපක්ෂ නායක

වත්මන් ආණ්ඩුව මේ වන විට රාජ්‍ය භීෂණයක්, රාජ්‍ය ත්‍රස්තවාදයක් අලුත් නීතිරීති නිර්මාණය කිරීමෙන් ඒකාධිපති ආඥාදායක ගමන ශක්තිමත් කරන්න කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මින්නේරිය ආසන්නයේ, මඩුදමන කොට්ඨාසයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින්.

ගොවියා රකිනවා කියා බලයට ආ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අද වනවිට ගොවියා අනාථ කර ඇති බවත්, ගොවි ජනතාවගේ ජීවිතය සහමුලින්ම කඩා වැටී ඇති බවත්, ගොවිතැන් කිරීමට නොහැකි වටපිටාවක් රජය විසින් නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

මේ අතර රජය මර්දනකාරී නීතිරීති ගෙන එන බව සඳහන් කළ විපක්ෂ නායකවරයා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත ගෙනවිත් මර්දනය ව්‍යාප්ත කරන බවත්, මේ නිසා නිදහස නොමැතිවීම, පොලිස් දඩුවම් වැඩි කිරීම, අධිකරණයේ අයිතිය අහිමි කිරීම සහ ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය ආකාරයට ජනතාව තලා පෙලා දැමිය හැකිවීම සිදුවන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

රජයේ ජනප්‍රියතාව අඩු වන විට සංවිධානාත්මක අපරාධ විනාශ කිරීමේ පනත සහ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත ගෙනවිත් කතා කිරීම රැස්වීමේ අයිතිය දේශපාලන හා උද්ඝෝෂණය කිරීමේ අයිතිය ආදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉවත් කිරීමට රජය සූදානම්වන බවයි විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කර සිටියේ.