Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මෝදර ධීවර වරාය ආසන්නයේ හදිසි ඩීසල් කාන්දුවක්

කොළඹ, මෝදර, මුතුවැල්ල ධීවර වරාය ආසන්නයේ හදිසියේ ඩීසල් තෙල් කාන්දුවක් සිදුවී තිබෙනවා.

සිද්ධිය වාර්තාවීමත් සමඟ තත්වය කඩිනමින් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම් විසින් විශාල මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වරායේ ජයා බහාලුම් පර්යන්තයට (JCT) අයත් බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි ගබඩා ටැංකියක නළ මාර්ගයක ඊයේ(21) සිදුවූ හදිසි බිඳවැටීමක් මෙම ඩීසල් කාන්දුවට හේතු වී ඇති බවට වාර්තාවෙනවා.

මෙලෙස කාන්දු වූ ඩීසල් තෙල් ප්‍රදේශයේ ප්‍රධාන ජලාපවහන ඇළ මාර්ගය ඔස්සේ ගලා ගොස් මුතුවැල්ල ධීවර වරාය ආසන්නයෙන් මුහුදු තීරයට එක්වී තිබෙන බවයි වාර්තාවන්නේ.

සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම, ඩීසල් තෙල් මුහුදට තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා ඇළ මාර්ගය මුහුදට විවෘත වන ස්ථානයේ විශේෂ තෙල් පාලන බාධකයක් (Fence Boom) ස්ථාපිත කිරීමට පියවර ගත්තා.

මේ අතර, වෙරළ තීරයට ගලාවිත් තිබූ ඩීසල් ඉවත්කිරීමේ මෙහෙයුම් ද මේ වන විට ආරම්භ කර ඇති අතර, කාන්දු වූ තෙල් සම්පූර්ණයෙන්ම ඉවත් කර තත්ත්වය පාලනය කිරීම සඳහා වෙරළාරක්ෂක බලකායේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම්වල නිරතව සිටිනවා.