අලුත්ගම කන්දේ විහාරයට අයත් ‘කුමාරි ඇතින්න’ සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංචාරකයන් පිරිසක් සමඟ පැමිණි සංචාරක මඟ පෙන්වන්නෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා අහුන්ගල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වන හන්දි ප්රිය ශාන්ත ද සිල්වා නැමැත්තෙක් බව හඳුනාගෙන තිබෙනවා.
ඇත් ගොව්වකු භාරයේ සිටින කුමාරි ඇතින්නිය නැරඹීමට සංචාරකයන් පිරිසක් සමඟ පැමිණි මෙම පුද්ගලයා එම ඇතින්නියගේ සමීපයට ගොස් පළතුරු කැබලි කීපයක් දී, එයින් කීපයක් නැවත ආපසු ගැනීමේ දී ඇතින්න ඔහුට පහරදී ඇති බවයි වාර්තා වුණේ.
පහර කෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා අද (26) බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
කන්දේ විහාරයේ මෙම හීලෑ ඇතින්න බොහෝ සංචාරක රියදුරන් මෙන්ම මඟ පෙන්වන්නන් සංචාරකයන් සමඟ පැමිණ නරඹා ආහාරයට පළතුරු ලබාදී ඡායාරූප ගැනීම සාමාන්ය සිද්ධියක් බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් අද දිනයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතින්න රැකබලා ගන්නා ඇත්ගොව්වා, ඇතින්නියට පළතුරු දීම සිදුනොකරන ලෙස දැනුම් දී තිබෙනවා.
නමුත් එය නොසලකා ලබාදුන් පළතුරු කැබැල්ලක් ඇතිනිගෙන් ආපසු ගැනීමේ දී ඇති වූ කෝපය මත ඇතින්න මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දේ විහාර පොලිස් මුරපොළ සහ අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
