අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරකට, ප්රේම සබඳතාවයකට හෝ විවාහයට ඇරයුම් කිරීම (DATING APP) හරහා සම්බන්ධ වීමෙන් මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මෑත කාලය තුල වාර්තාවී ඇති අතර මෙම වංචනික ක්රියාදාමයේ නිරතවන්නන් විසින් කෙටි කාලයක් තුල හෝ දීර්ඝ කාලීනව ආකර්ෂණීය අයුරින් පණිවුඩ යොමු කරමින් පුද්ගලයන් රැවටීමට ලක්කර තිබෙන බව පොලිසිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පෙන්වා දී ඇත්තේ, අන්තර්ජාලය හරහා ලිංගික සේවා සැපයන බවට සහ මිතුරු ඇසුරු පවත්වා ගෙන යා හැකි බව දන්වමින් සමාජ මාධ්ය ජාලා (Facebook, WhatsApp, Telegram) ඔස්සේ සම්බන්ධ වෙමින් විශේෂ ජංගම දුරකථන යෙදවුමක් (App) භාගත කර ගැනීමට පෙළඹවීම සිදු කරන බවයි.
මෙලෙස ස්ථාපනය කරන දුරකථන යෙදවුම වින්දිත පුද්ගලයාගේ දුරකථනයේ පවතින තුරු වින්දිත පුද්ගලයා විසින් සිදු කරන මාර්ගගත ගෙවීම් වලට අදාල ගිණුම් විස්තර මෙම වංචාකරුවන් විසින් ලබා ගැනීම සිදු කරන අතර එමගින් ඉහත ගිණුම් තුල පවතින මුදල් වංචනික ලෙස ලබා ගැනීම සිදු කරන බව ද පොලිසිය පවසනවා.
උදාහරණයක් ලෙස, DATING APP නමින් වූ මෙම යෙදවුම වංචාකරුවන් විසින් හඳුන්වා දෙන අතර එය වින්දිත පාර්ශවය විසින් ඔවුන්ගේ ජංගම දුරකථනයේ INSTALL කර ගැනීම සඳහා පෙළබවීම සිදු කරන බවත්, මේ හරහා වින්දිත පාර්ශවය විසින් මාර්ගගත ක්රමය ඔස්සේ ඕනෑම අවස්ථාවක මුදල් හුවමාරු වූ විට මෙම වංචාකාරි පුද්ගලයින් විසින් USER NAME/PASSWORD ඔවුන් විසින් නතු කර ගන්නා බවත් සඳහන්.
වර්තමානයේ සමාජ ජාලා සහ පණිවිඩ හුවමාරු වේදිකා (Social Media and Chat Platforms) හරහා මුදල් වංචා කිරීමේ ක්රම වේගයෙන් වෙනස් වෙමින් පවතින බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් ආදරය, හමුවීම් පොරොන්දු වෙමින්, බාහිරෙන් ඩේටින් ඇප් එකක් (Dating App) ලෙස පෙනී යන නමුත් ඔබගේ දුරකථනය පාලනය කර බැංකු ගිණුම් හිස් කරන මෘදුකාංග (APK Apps) ජාවාරමක් මේ වන විට ක්රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වන බවද පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව කිසිදු අවස්ථාවකදී නාඳුනන යෙදවුමක් සඳහා යොමු නොවිය යුතු අතර ආගන්තුක අය වෙත බැංකු තොරතුරු, OTP හෝ මුරපද ඇතුළු පුද්ගලික තොරතුරු මෙන්ම කිසිදු ඡායාරූපයක් වීඩියෝ දර්ශනයක් ලබා නොදිය යුතු බව අවධාරණය කරනු ලබනවා.
සබඳතාවයන් පිළිබඳව ගන්නා නිවැරදි තීරණ මත පුද්ගලයෙකුගේ ආරක්ෂාව සහ මූල්ය සුරක්ෂිතතාවය රඳා පවතින බැවින් නූතන තාක්ෂණික ලෝකය තුළ සමාජ ඇසුර සම්බන්ධව වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි පොලිසිය සඳහන් කරනවා.
