පහර කෑ බව කියන බලංගොඩ කස්සප හිමි තවමත් රෝහලේ

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ නිරතව සිටිය දී පහරදීමකට ලක්වූ බව කියන බලංගොඩ කස්සප හිමි මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසනවා.

මාධ්‍ය වෙත අද (18) දහවල් අදහස් දක්වමින් උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ බලංගොඩ කස්සප හිමි මේ වනවිට පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි.

ප්‍රහාරයකට ලක්වූ බව පවසමින් ඊයේ (17) රාත්‍රියේ බලංගොඩ කස්සප හිමි විහාර මහාදේවී උද්‍යානයේ සිට සුව සැරිය ගිලන් රථයක් මඟින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එලෙස ජාතික රෝහලට ඇතුළත් කළ උන්වහන්සේගේ ජීවිතයට ඇති තර්ජනය හේතුවෙන් ඊයේ (18) රාත්‍රියේම ජාතික රෝහලෙන් බැහැරව පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කළබවයි උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කර සිටියේ බලංගොඩ කස්සප හිමි සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික සිදුකළ ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.