පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.
මෙම සිද්ධිය පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයා සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද විමර්ශන කටයුතු අරඹා ඇති බවයි වාර්තා වන්නේ.
රෝහලේ මුළුතැන්ග පරිශ්‍රයේ අද (26) අලුයම 4.30ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
එලෙස රෝහල් ගත කළ හත්දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.
පිපිරීමට හේතුව ගෑස් කාන්දුවීමක් ද නැතහොත් යම් පුද්ගලයෙකු අතින් සිදුවූ අත්වැරදීමක් ද යන්න පිළිබඳව සෙවීමට විමර්ශන සිදුකරන බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර සිද්ධිය වාර්තා වූ පසු නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ද රෝහලට පැමිණි අතර, එහිදී ඔහු පවසා සිටියේ සිදුවූ හානිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.













