2026 නොවැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ අනුව,
- යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම
- ගොඩනැගිලි සැලැස්මකට අනුමැතිය ලබා ගැනීම
- මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම
- මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම
- ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
- ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
- ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදු කරන විට
- ණය කාඩ්පතක් ලබා ගැනීම
ඉහත කටයුතු සඳහා වලංගු TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව නිවේනදයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ කාර්යයන් සිදු කර ගැනීමට පෙර TIN අංකය වලංගු බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
මේ වන තෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා, https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader යන සබැඳිය ඔස්සේ, ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා තහවුරු කරගැනීමටද, https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index යන සබැඳිය භාවිතා කළ හැකියි.
තහවුරු කිරීම සාර්ථකව සිදු වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව දැක්වෙන මුද්‍රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරය අදාළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.













