ඩුබායිහි දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.
මොහු අද (25) අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.
එලෙස රැගෙන ආ ‘බස් ලලිත්’ රැගෙන යනු ලැබුවේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටයි.
‘බස් ලලිත්’ නැමැත්තාට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබුණා.
ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ නැමැත්තාට එරෙහිව පහත දැක්වෙන අපරාධ චෝදනා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කළා.
2013 වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින හංවැල්ල පොලිස් වසමේ, පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීම.
2021 වර්ෂයේ නෙළුවත්තුඩුව ප්‍රදේශයේ ව්‍යාපාර ස්ථානයක ඇතුළු වී ලොරි රථයකට ගිනි තැබීම සහ එම ව්‍යාපාරයේ හිමිකරුගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර පුද්ගලයෙකුට තුවාල සිදු කිරීම හා ඝාතනයට තැත්කිරීම.
2022 වසරේ ඔක්තෝබර් මස 16 වැනි දින හංවැල්ල පොලිස් වසමේ පිහිටි නිවසකට ඇතුළු වී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා තුවාල සිදු කිරීම.
එමෙන්ම එම වසරේම දෙසැම්බර් මස 18 වැනිදා හංවැල්ල, හරස් පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීම.
2023 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා පාදුක්ක පොලිස් වසමේ, පුදගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
2024 වසරේ මාර්තු මස 04 වැනිදා හංවැල්ල පොලිස් වසමේ, පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.
2024 වසරේම සැප්තැම්බර් 30 වැනිදා නෙළුවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ව්යාපාරිකකුට වෙඩි තබා ඝාතනය කිරීම.
2025 වසරේ ජූලි මස 06 වැනිදා කොස්ගම පොලිස් වසමේ, ත්‍රීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
එමෙන්ම 2025 වසරේ ජූලි මස 19 වැනිදා කොල්ලුපිටිය පොලිස් වසමේ, සමාජ ශාලාවක් අසළදී අත්අඩංගුවට ගත් ටී. 56 ගිනි අවියක් උණ්ඩ 25ක් අදාළ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයට ලබාදීම.
2025 වසරේ අගෝස්තු මස 12 වැනිදා මීගොඩ පොලිස් වසමේ, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
එමෙන්ම 2025 වසරේ අගෝස්තු මස 13 වැනිදා මීගොඩ පොලිස් වසමේ, මුතුහේන පාරේ ස්ථානයක දී ගිනි අවියකින් අහසට වෙඩි තබා පළායාමේ සිද්ධිය මෙහෙය වීම.













