පලෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය හරහා පුද්ගලයෙක් සිදුකළ ප්‍රකාශයකට අදාළව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ පලෙයි ප්‍රදේශයේ මහ කැලේ හෙළිකර තට්ටු 03 ක ගොඩනැගිල්ලක් සාදා ඇති බවත්, මෙය එල්.ටී.ටී.ඊ කඳවුරක් යන්නත් බෝම්බ නිෂ්පාදනය කරන කම්හලක් මෙහි පවත්වා ගෙන යන බවටත් පුද්ගලයෙකු විසින් සිදුකළ ප්‍රකාශයක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ශ්‍රී ලංකා පොලිසියේ නිරීක්ෂණයට ලක් වූ බව එම නිවේදනයේ සඳහන්.
මෙම වීඩියෝව අනුව අදාළ ස්ථානය කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයේ අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් වන කන්නගිපුරම් බටහිර, මුක්කම්පන් ප්‍රදේශය බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් හා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කරන ඇති බවත්, ඒ අනුව එම කොට්ඨාස මගින් සිදුකරන ලද විමර්ශනයන්ට අදාළව වාර්තා කැදවීමට කටයුතු කර ඇති බව එහි සඳහන්.
විමර්ශනවල දී අනාවරණය වී ඇති කරුණු අනුව සමාජ මාධ්‍ය හරහා සිදුකරන ලද ප්‍රචාරය පදනම් විරහිත සහ අසත්‍ය කරුණු වන බවත්, මෙම ස්ථානය මූලික කර ගනිමින් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, නීතිවිරෝධී ද්‍රව්‍ය නිෂ්පාදනය හෝ බෝම්බ නිෂ්පාදනයක් සිදුවන බවට කිසිදු කරුණක් විමර්ශනයේදී හෙළිදරව් නොවන බවටත් දැනුම්දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
එමෙන්ම කිසිදු එල්.ටී.ටී.ඊ හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයක් හෝ අන්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක් සහ ත්‍රස්ත ක්‍රියාකාරකමක් සඳහා සංග්‍රාමික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමක් එම ස්ථානයේ සිදු නොවන බවටයි වාර්තා කර ඇත්තේ.
මෙම ස්ථානය සම්බන්ධයෙන් නීතිවිරෝධී කැලෑ එළිකිරීමක් හා නීති විරෝධී වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවටත් දැනුම්දී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
2026.08.18 දින ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එම ප්‍රකාශය සිදුකළ වයස අවුරුදු 46ක් වන බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත බවත් එම නිවේදනය මඟින් දක්වා තිබෙනවා.
සැකකරු ඊයේ (19) දින කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2026.09.02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කිලිනොච්චිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් හා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













