මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනුණු ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, සැකකරු අද (27) දිනයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘කරන්දෙණියේ රාජු’ නැමැත්තාට විදෙස්ගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර ලේකම්වරයා ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවා.
කරන්දෙණියේ සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරයා වන කරන්දෙණියේ රාජු පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට රැගෙන එනු ලැබුවා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ, ඔහුට විදෙස් ගතවීමට 2023 වසරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කළ පුද්ගලයෙකු විසින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කර දී ඇති බවයි.
එම නියෝජ්‍ය පාලකවරයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඔහු මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවයි.













