2026 වසරේ මුල් මාස තුන ඇතුළත පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන දේශසීමා සන්නද්ධ ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් අවම වශයෙන් 372 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබෙනවා .
ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහාය මෙහෙයුම (UNAMA) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම කාලසීමාව තුළ තවත් සිවිල් වැසියන් 397 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන් .
එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා කාලය තුළ දේශසීමා හරහා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් 95ක් ලේඛනගත කර තිබෙනවා .
මින් බහුතරයක් ජීවිත හානි වාර්තා වී ඇත්තේ පෙබරවාරි 26 වැනිදා පාකිස්ථානය විසින් ආරම්භ කරන ලද “ඔපරේෂන් ගසාබ් අල්-හක්” (Operation Ghazab al-Haq) මිලිටරි මෙහෙයුමෙන් පසුවය.
ඇෆ්ගනිස්ථාන භූමියේ සිට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් පාකිස්ථානය තුළ එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය මෙම මෙහෙයුම දියත් කළා .
සිවිල් වැසියන්ගේ මරණවලින් සියයට 64කටම හේතුවී ඇත්තේ පාකිස්ථාන ගුවන් ප්‍රහාර වන අතර, ඉතිරි මරණ දේශසීමා හරහා එල්ල වූ කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර නිසා සිදුව තිබෙනවා .
මියගිය පිරිස අතර කාන්තාවන් 13ක්, දරුවන් 46ක් සිටිනවා.
දරුණු පිළිස්සුම් සහ සිරුරු කොටස් විසිරී යාම හේතුවෙන් බොහෝ මළසිරුරු හඳුනා ගැනීමට පවා නොහැකි වී ඇති අතර, සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මානුෂීය නීතිවලට ගරු කරන ලෙසත්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත්, පාසල් සහ රෝහල් මිලිටරි අරමුණු සඳහා භාවිත කිරීමෙන් වළකින ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශවයෙන්ම දැඩි ලෙස ඉල්ලා සිටිනවා.













