Update- හලාවත වැවිලි සමාගමේ හිටපු සභාපතිට ඇප

දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින හලාවත වැවිලි සමාගමේ හිටපු සභාපති ඇප මත මුදා හැරීම⁣ට කොළඔ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන අද (11) නියෝග කළා.

සැකකරුට ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙනවා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

ඉකුත් 2014 වර්ෂය තුළදී, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින හලාවත වැවිලි සමාගමෙන්, එකී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙකුට තනි අයිතිය ඇති ආයතනයකින් අමාත්‍යවරයාගේ ඉල්ලීම මත කිසිදු වග විභාගයකින් තොරව රෙදිපිළි කට්ටල 5,000ක් මිල දී ගැනීමට හිටපු සභාපතිවරයා අනුමත කර තිබුණා

ඒ මඟින් හලාවත වැවිලි සමාගමට රුපියල් තිස් දෙලක්ෂ හැත්තෑපන්දහසක (රු. 3,275,000/-) මුදලක් පාඩු කිරීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදු කිරීමේ චෝදනාව යටතේ සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළා.

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමකින් තොරව කටයුතු කිරීම සැකකරුට එරෙහිව නැගී ඇති චෝදනාව බව අල්ලස් කොමිසම සඳහන් කර තිබුණා.