ව්‍යාපාර නාම ලියාපදිංචිය පහසු කිරීමට නියමු ව්‍යාපෘතියක්

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල, කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දෙන සරල හා ඒකාබද්ධ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ (Simplified and Unified Business Name Registration – BNR) නියමු ව්‍යාපෘතිය අනුරාධපුරයේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් ආරම්භ කර තිබෙනවා.

තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කර දිවයින පුරා ඒකාකාරී ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අරමුණින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභාවන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ ක්‍රියාත්මක වෙනවා.

1918 වසරේ සිට පැවති පැරණි ක්‍රමවේදය තුළ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ලේඛන සහ විවිධ ආයතනවල අනුමැතීන් ලබාගැනීම වැනි සංකීර්ණ අවශ්‍යතා පැවතුණා.

නව ප්‍රතිසංස්කරණය මඟින් ව්‍යාපාර නාම ලියාපදිංචිය සහ වෙනත් නීතිමය බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය වෙන්කර, මූලික අනන්‍යතා හා පදිංචි තොරතුරු පදනම් කරගනිමින් දින පහක් වැනි කෙටි කාලයකදී ලියාපදිංචිය සිදුකිරීමට අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරෙනවා.

මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක පළමු අදියර ලෙස මාස තුනක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා.