සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ තම මිතුරාට මුදල් සොයාදීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මීගව පැටවුන් සොරකම් කර එළු මස් ලෙස විකිණීමේ ජාවාරමක් මෙහෙය වූ පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.
අම්බලන්ගොඩ පොලිස් වසමේ පසුගිය දිනවල ගව සොරකම් පිළිබඳව අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිලි මත ඒ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, එහිදී අම්බලන්ගොඩ තල්ගස්ගොඩ, ගොඩහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යයෙක්.
අත්අඩංගුවට ගැනුණු එම සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අම්බලන්ගොඩ සහ වතුගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ද පාසල් සිසුන් බවයි වර්තා වන්නේ.
මෙම සැකකරුවන් බටපොල ප්‍රදේශයේ කුලියට මෝටර් රථ ලබාදෙන ස්ථානයකින් මෝටර් රථ ලබාගෙන ඒවායේ ගොස් ගව පැටවුන් සොරකම් කර මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.
ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී සූදු ක්‍රීඩාවෙන් පරාජයට පත් තම හිතවතෙකුට මුදල් ලබාදීම සඳහා මෙසේ ගවයන් විකුණූ බව පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
එළු මස් මිල අධික නිසා ගව පැටවුන් මරා එළු මස් ලෙස විකිණීමේ ජාවාරම මෙලෙස සිදුකර ගොස් ඇති බව පොලිසිය පවසනවා.
ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් සිව්දෙනෙක් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.













